Monday, September 29, 2014

දයාබර විභාගය...

යනෙන මාවත දෙපස 
විහිඳිලා මල් සුවඳ 
සියොත් කැල එක් වෙලා                   
ගයනවා රස ගීත...
                                                                      
සිතෙනවා නවතින්න 
මොහොතකට ඔවුන් ළඟ 
දයාබර විභාගය..
මට කමා කරනවද ....?





ප :ලි : මේ බට්ට කාලේ ලියපු කවියකි.







Wednesday, September 17, 2014

කැහිකූරු ආලය

කැහිකුරකට  වගේ 
නුඹ මාව සැලකුවේ 
ලස්සනට ලඟට ගෙන 
තදින් පෙම උරා බී 
මන්මත්ව...,
සෙමෙන් 
වාතලයට මුදා, දුම...
නමුදු ශේෂ වී ඇත 
නුඹෙන් මා පැතු 
සැනසීම,
අළු අංශු මාත්‍ර ලෙස....


නිමන්තිකා
  

Tuesday, September 16, 2014

"ජුජුබ්ස් "

"ජුජුබ්ස්"... ඔහ් මොනතරම් රසවත් කෑමක්ද? 
හුහ් මතක් වෙනකොටත් කටට කෙල උනනව.
       (හැබැයි ඒ දිලාට )     


ජුජුබ්ස් මතක් වෙද්දි තුම්මුනින් දාඩිය දාන,කන් රතුවෙන , පට්ටම අවුලකට පත් වෙන අයත් ඔය අතරේ නැතුව නෙවි..


                                        "නෑ...."
     ඔයාල කෝමද ඒම කියන්නෙ ? එහෙම වෙන    ගොයියෙක් අපේ සැට් එකේ නම් ඉන්නවා. 
"ඔව් ඔව් අනේ.. වෙන කව්ද ඉතිං අපේ සුපුරුදු කථානායක තමා..
ඔව් ඔව්, මේකත් අපේ මනු පෙරල ගත්ත තවත් බාල්දියක් .
මේ මනුවගේ ඔපීසියේ කස්ටිය පවත්වපු උත්සවයක 
          සිද්දියක්..
දකුණු පළාතේ රූකඩ වලට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයක, කනිෂ්ඨ විදුහලක අඩු අදායම් ලාභීන් ලෙස හඳුනාගත් සිසුදරුදරියන්ට පාවහන් ලබා දීමට ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක් උත්සවයක් සංවිධානය කලා.ඉතිං අපේ මනුවත් ඔය වගේ වැඩ වලට උපරිම සහය දෙන කොල්ලෙක් වෙච්චී..
සංග්‍රහ කමිටුවේ සංවිධායක විදියට බොහෝම ඇප කැප වීමෙන් වැඩ කලා..
සංග්‍රහ සාදය "ලෙසටම " සංවිධානය කරන අතරතුරේ 
මනුවා ප්‍රීතියෙන් අමන්දානන්දයට පත් උනේ...මේන් මෙහෙමලු "ඕඕඕ ... ජුජුබ්ස්... කා....ලෙකින්.."


හැමට කලින් ඇස ඉස්සර උනා නුඹ ළඟ... 
හිතට හොරෙන් අත සක්මන් කලා නුඹ වට...
කටට හොරෙන් නුඹ ඉක්මන් උනා මගෙ දිව...
අපට හොරෙන් වැඩ ඉක්මන් උනා අපි ළඟ...

"මනු ඉක්මනට වරෙන් මචං , බොසා උඹව හොයනව.
ඔතන වැඩ ටික රෙඩි නේද??
ඉක්මනට යමන් .. ආරාධිත අමුත්තා යෝජනා කරලලු 
ශාඛා කාර්ය මණ්ඩලයටත් ඇවිත් පොඩි එවුන්ට සපත්තු බෙදන්න කියල.ඔතන වැඩ ටික සෙට්ල් කරල ස්ටේජ් එක ලඟට සෙට් වෙයන් " 
(ඒ මනුවගේ බැංකු ගජය )
හ්ම්.. මදෑ ජුජුබ්ස් කෑවා...
ඕවයින් සැලෙන කොල්ලොද අපි හුහ්
 (මිනිත්තුවකට මයික්‍රෝ තත්පර කොච්චරද වේගෙන් ජුජුබ්ස් අහුරු 2ක් අරං සාක්කුවේ ඔබා ගත්ත කොල්ලා...එසැණින් වේදිකාව අසල ) 

ඉතින් උත්සවේ  ලස්සනට වැඩේ කෙරීගෙන යන අතරතුරේ, බැංකු කාර්යමණ්ඩලයේ කස්ටියත් සපත්තු 
බෙදාදීම කරගෙන යනව. පුංචි උන්ගේ හිනා කටිං එකයි.  

ඔහොම ඉද්දී මනුවගේ වාරෙත් ආව.ස්ටේජ් එකට නැග්ගම අමුතු මෙව්වා එකක් දැනුනේ ආපු මැති ඇමතිවරු දෙමව්පියෝ..පුංචි ඈයෝ ඔක්කොමල කට කනේ තියං බලං ඉඳපු නිසා මිසක්, සබකෝලෙකට නම් නෙවි.

නමක් කියවුනා..පුංචි පැටික්කෙක් ආව, දණගහල වැඳලා දෝත බදල තෑග්ගත් අරං හිනාවේගෙන ගියපු විදිය දැකල අපේ එකාට අමුතු හැගීමක් හිතට ආපු නිසා, ඊළඟ පුංචි පැටික්කිගේ නම කියවෙත්දී අපේ එකා සාක්කුවට අතදාල ලේන්සුව ඇදල ගත්තේ හීනියට මතුවුණ දාඩිය බිංදු පිහගන්න උනත්,,
 ඔව්,, ඇත්තටම වේදිකාවේ 
 ලස්සනම ලස්සන වැස්සක් වැස්සේ හැමෝම 
සිනා ගන්වනගමන්...
ඔව් ඒක නිකන්ම නිකං වැස්සක් නෙවී..,
පාට පාට ලස්සන "ජුජුබ්ස්". වැස්සක්  
(මින් ඉදිරියට සිදුවූයේ කුමක්ද යන්න සිතීම ඔබට භාර කරමි) 
                           

ප.ලි . :- මෙය සත්‍ය සිදුවිමක් බව කරුණාවෙන් සලකන්න. 
නිමන්තිකා.

Friday, September 12, 2014

කොමෙන්ට් කව :)

              


   අපුල්ලද්දි රෙද්ද නොවේ මගෙ ආලේ 
     යන්නේ කෙලෙස රෙද්දක් ඇඳගෙන රාලේ 
කිම් කරම්ද අසරණ මා පඹගාලේ 
  ඇයි වස්තුවේ ගති නෑරුනෙ නූඹේ ආරේ ??????:P

Tuesday, September 9, 2014

බයික් එක

මනුවා ගැන නම් කතා පොතක් ලියතහැකි...ඒ තරමටම අමුතු සිද්දි තමයි මේකට වෙන්නේ.......
ඉතින් ඔන්න මේකත් අපේ ආදරණීය මිත්‍රයට සිද්ද වෙච්ච දෙයක් තමයි..
මනුවා ජොබ් එකට ගියාට පස්සේ ඉතින් කලෙක ඉඳන් හිතේ තිබුන සිහිනයක් සපුරගත්ත.ඒ තමයි බයික් එකක් ගැනීම.පස්සෙ ඉතින් ඒකෙන්ම තමයි කොල්ලා ගමන් බිමන්.කොටින්ම කිව්වොත් ගෙදරට ගෙවල් දෙක තුනකින් එහා තිබුන කඩේටත් යන්නෙ ඕකෙන්.  



                                                  මේ සිද්දිය උනේ බයික් එක ගත්ත මුල් සතියේ..
මේකා ඉතිං ලොකුවටම කරන්නෙ බැංකුවට ගිහිං කොළකෑල්ලක් අල්ලාගෙන ඉඳල එන එක බව ඉතිං අපේ  සෙට් එකම දන්න දෙයක්   . ඔහොම ඉන්නකොට මේකට 11 ට විතර ඉන්න බැරි බඩගින්නක් එනව.එතකොට නම් ඉතිං මේකව, මැනේජර්ට වත් නතර කරන්න බෑ.එලියට දුවල මොනව හරි කාල එනව හොරා වගේ..

දැන් ඉතින් බයික් එකත් තියෙන නිසා කොල්ලා අම්බලන්ගොඩ ටව්මටම ගියා.පෙට්‍රල් ගහන්න රු 50ක් තියාගෙන ඉතිරි ඔක්කොම සල්ලිවල කෑව වෙනද වගේම. (අපේ මිත්‍රයට ක' බෑ හොඳේ ඉතින්  )
ආයෙම බැංකුවට ගිහිං දවස ගෙවාගෙන 4.15 ට විතර ගෙදර එන්න එලියට ඇවිත් බයික් එක නතර කරපු තැනට ගියාලු...මාර වැඩේ බයික් එක නෑලු. අපේ එකාට දැන් දවාලේ තරු පෙනුනලු.

ටයි පොල්ලේ ගැටෙත් බුරුල් කරන ගමන් පිස්සුවෙන් වගේ වටපිටාවේ හැමතැනම බලල, සිකියුරිටි අංකල් ගෙන් ඇහුවලු "බයික් එක කෝ" කියල.සිකියුරිටි අංකල් ටිකක් වෙලා මනුවා දිහා බලං ඉඳල කිව්වලු,

"මහත්තය දවාලේ බයික් එකෙන් එලියට යනව දැක්ක. ඊට පස්සෙ නම් දැක්කේ නෑ." කියල.
පස්සෙ තමයිලු  අපේ මනු මහත්මයට මතක් උනේ, ටවුන් එකට බයික් එකෙන් ගියාට ආවේ පයින් කියල.


නිමන්තිකා

Monday, September 8, 2014

A/L



දෑ අව්රුද්දක් පෙරුම් පුරාගෙන 
අත්තකිලමතානුයෝගීව 
එක්තරා බෝධියකින් නොව 
තුන්තරා බෝධියකින් 
නිවන් යන්නට පෙරූ
ප්‍රාර්ථනා පාරමිතාව 


ඔය අතරේ සමහරු මෙන්න මෙහෙමයිලු

නිමන්තිකා 

Wednesday, September 3, 2014

"කොළකැඳ සමිති හා ඉන්ටවීව් "

අද නම් කියන්න තනන්නේ අපේ මිත්‍රයෙක් / සහෝදරයෙක්ට  සිද්ද වෙච්චි ඇබැද්දියක් ගැන.
අපි ඔහු "මනූ " ලෙස හඳුන්වමු. ඇත්තටම කියනවා නම්, අපේ සෙට් එකෙන්ම දියුණු වෙන්න තදින්ම උණ තියෙන්නෙ මෙන්න මේ පුද්ගලයට තමයි. 

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හිත හොඳ කොල්ලෙක් උනත්, ඒ හොඳ හිත නිසාම "මනුවට" වෙන අකරතැබ්බ  වලත් අඩුවක් නම් නෑ.

                          වාණිජ අංශයෙන් උ /පෙ කලාට සරසවිය පැත්තේ යන්න නම් ලැබුනේ නෑ ඉතිං.
ඕවට සැලෙන කොල්ලෙක් නොවෙන නිසාත්, ජීවිතය දිනන්න ලොකු උවමනාවක් තියෙන නිසාත් මලයා රස්සාවල් පස්සේ ගියා. ඒ  වගේම මෙයාගේ ලොකු හීනයක් තිබුණා රජයේ බැංකුවක රස්සාවක් කරන්න. 
ඉතිං කොල්ලා අහුවෙන හැම වේකන්සියටම වගේ අයදුම්පත් දැම්මා.පොඩි ජොබ් කට්ටක් සෙට් උනත්,මනු  එයාගේ හීනය නම් අමතක කලේ නෑ..ඔය අතරේ ලංකාවේ පිළිගත්ත රජයේ ලොකු බැංකුවකින් සම්මුඛ පරීක්ෂණයක් කැඳවල ලියුමක් ලැබුනේ මනුගේ හිත විතරක් නෙවෙයි, අපි හැමෝගෙමත්  හිත් සතුටින් පුරවන ගමන්. 

සෙට් එකේ හිත හොඳ, පිස්සුවේ අඩුවක් නැති එකා වීමත්, කාගෙත් ආදරය දිනාගැනීමත්, නිසා කස්ටියම බොහොම උනන්දුවෙන් වැඩේට සෙට් වෙලා, මේකව පුරුදු පුහුණු කලා. ගමනට ඕන කරන අඩුම කුඩුම සෙට් එකෙන්ම සපයල දුන්නු නිසා අපේ මිත්‍රයට තිබුනේ දෙයියනේ කියල ගිහිං වැඩේ ගොඩ දා ගැනීමක් තමයි.

කොහොමින් කොහොමින් හරි මනු ඉන්ටවීව් ගියා. සෙට් එක එදා කොල්ලා එනකල් මග බලං උන්නේ යන තැන වැඩ  අනාගැනීමේ උපන් හැකියාවක් ඔහුට තිබුන නිසා.(නොසැලකිල්ල ත් හිත හොඳ කමත් නිසා )
                                                                            ඉතින් කෝම හරි මුල් දවසේ වැඩේ ගොඩ. මනුවා එදා ගෙදර ආවෙත් හිස් අතින් නම් නෙවෙයි.අත්සන් කරන්න බැංකුවෙන් දීපු පෑනත් මෙයා සාක්කුවේ දාගෙන ඇවිත් තිබුණා.(සොරකම් කිරීමේ පවිටු චේතනාවෙන් නම් නෙවයි , අමතක වීමෙන් ) :D
                   ඔහොම කාලය ගතවෙලා දෙවැනි දවසෙත් ඉන්ටවීව් ගියා.හොඳම සිද්දිය උනෙත් එදා.

ඉතිං බැංකුවේ ඉහල කටයුතු නිලධාරීන් කීප දෙනෙක් මනුගේ කතාවේ ප්‍රසන්න භාවයට පැහැදිලා, CV එක එහෙම බලලා ඇහුවලු,
" සමිති සංගම් වල ඉඳල තියෙනවද? "කියල. 
ඉතින් මේකා ගත් කටටම කිව්වලු "ඔව් " කියල.
ටිකකින් එතන ඉඳපු බඩ මහත තදයෙක් වගේ පෙනුන පොරක් මෙයාගෙන් ඇහුවලු
 "කොළ කැඳ සමිති වලත් ඉඳල තියෙනවද? " කියල.
දැන් නම් අපේ එකා කොර උනා කියල දැනුනත්, ඒ වගක් පෙන්නන්නේ 
නැතුව හෙන ලෝඩ් වගේ, පට්ට ප්‍රොෆෙෂනල්  විදියට මෙහෙම උත්තර දුන්නලු.
 "සර් මම එහෙම සමිතියක් ගැන නම් දැනුවත් නැහැ ." 
ආයෙම අර බඩ මහත කෙනා හීනියට හිනාවෙලා ඇහුවලු
 "මොන සමිති ගැනද පුතා දැනුවත් ?" කියල.
 පුතා කියලත් කතා කරපු නිසා ,සුහද බව දැනුන නිසා ඉතිං මනුවා දන්න කියන සමිති සංගම් ගැන ලිස්ට් එකක් කියාගෙන ගිහිං ,
"ඒත් සර් කොළකැඳ සමිති ගැන නම් මං අද තමයි ඇහුවෙත් "කියල කිව්වලු.
  
ඉන්ටව් බෝඩ් එකේ සේරම මූණට මුණ බලන් එක හඩින් හිනාවෙද්දී නම් අපේ කොල්ලට   ඒ .සී. එක ඇතුලෙත් දාඩිය දැම්මලු.පස්සෙ අර බඩ මහත මහත්මයා මැදිහත් වෙලා මෙහෙම කිව්වලු,
 "පුතා මම ඇහුවේ කුළඟන සමිති ගැන මිසක්  කොළකැඳ සමිති ගැන නෙවෙයි." කියල.

ඉතිං ඔය සිද්දිය සෙට් එකේ අයට ඇවිත් කිව්වම මනූට අත්වුන ඉරණම ගැන අමුතුවෙන් ලියන්න ඕන නැහැනෙ.ඒ වගේම අපිට‍ කොළකැඳ එකක් බොන්න සෙට් උනොත් ඉතින් අපේ මිත්‍රයව අනිවාර්යෙන්ම මතක් වෙනව.කට්ටිය සෙට් එක ඉද්දි එහෙම අවස්තාවක් අවොත් ඉතිං ප්‍රසිද්ධියේ බයිට් කරන්න බැරි  නම් කව්රු කව්රුත් මුනට මුණ බලල මනූ දිහාවට හීන් හිනාවකින් සංග්‍රහ කරන්න අපි අමතක කරන්නෙ නෑ.








ප.ලි . -: කොහොමහරි අපේ මිත්‍රයට ජොබ් එක හරි ගියා.අපේ සෙට් එක නම් කිව්වෙ ඉන්ටව් බෝඩ් එක හිනස්සල ජොබ ගොඩ දාගත්ත කියල. [නමුත් මනු ඇත්තටම දක්‍ෂ කොල්ලෙක්  :) ]                              


නිමන්තිකා.

Monday, September 1, 2014

අඳුර අතපත ගාන මුත් මම ඉවසමි, දෙනයනින් දිලිසී....


දරා ගනු නොහැකී 
ඝනඳුර, කෑලි කැපිය හැකි වී 
       අඳුර අතපත ගාන මුත් මම 
           ඉවසමි, දෙනයනින් දිලිසී....
                                           
                               
                         නැගෙන මුත් හදෙහී
                                 සුසුමන්, උරණ හද  කැළඹී..
                                     කිම් කරම් මම 
                                             යලිදු ,යලිනෙදු ඉවසනා                                                        යෙහෙකී ...


                              දිනක පෙරඹරෙහී... 
                     අරුණළු, කැරළි එයි දිළිහී 
                                         මහද සන්තානයේ                                                                     කුමරුණි,
                                              වඩිනු මැන සැරසී...  
   
                        







  නිමන්තිකා..