මෝඩ ඇල ළඟ ඇසතු බෝ රුක
සෙත් පිරිත් විසිකරයි සුළඟට
සෙත් පතා දුක් විඳින නුවරට
වර්ණ ටොපි චොකලට් කොළ සිඹින
ප්ලාස්ටික් පොලිතීන් ලෙවකන
තෙල් මන්ඩි කළු මඩ මිදී ගිය
උදම් රළ දැක උදම් වෙන ඇළ
මැද පන්තියේ හදවතක් මෙන්
පිම්බෙමින් නලියන මෝඩ ඇළ
ඉරේ ගිනි අඟුරක් වැටෙන විට
තම හිසට තම පොත පමණමය
බියේ සිලි සිලි බෑග පතුලින්
සිහින කැබලිව බිම වැටෙන සඳ
උණු තාර කකියයි පතුල් යට
මේ දෙපා සෝඩි ටිකිරිද ?
ඇදුනු මරුවැල පැකිල බිම හුන
විසුල එළවලු අතින් අහුලන
මහළු මවකගෙ පයට පෑගෙන
බිඳුණු විදුරු කැබලි දිළිසෙන
බලු වසුරු රන් පයින් පාගන
සෙමෙන් බොළඳව පෙම උරා බොන
පෙම්වතුන් මන නුවණ කවි කල
චිත්‍රපට දැන්වීම් පුවරුව
ධූලි වැකි ලොතරැයි පතක් උඩ
කඳුළු බිඳුවක් දිලිසෙමින් ඇත
වාශ්පව අහසට නගින්නට
ලඟා වනතුරු තාපාංකය
නුවර දොර මග සෙනග ගැවසෙන - මෙ කවි කැබලි හමු වීය මෙමට
නොවැටහෙයි ඉන් කවි තනන්නට - එකින් එක අමුණා හුයෙන් හුය
තබා යමි එය ඇසතු රුක මුල - නොසැලකිල්ලට නොපෑගෙන්නට