Thursday, July 31, 2014

ඔබ ගැන මගෙ අතින් කවි ලියවුනා මදී ...

බෝසත් මව් ගුණය ඔබ ළඟ තිබුනි           රැඳී 
දෙවියොත් අම්මෙ ගුණ යහපත් කමට       වඳී
තිබුනත් ගුණ සුවඳ මගෙ හදවතේ             රැඳී 
ඔබ ගැන මගෙ අතින් කවි ලියවුනා           මදී 

කවි කිවිඳියන් වැනුවත් කොතරම්          සඳරූ 
ඔබෙ වත තරම් සඳවත නෑ මට           සොඳුරූ
ඇකයේ හොවාගෙන මා නැළවූ             අයුරූ 
මතකයි තවම ඒ නැළවිලි ගී                  මියුරූ 

දෙගුරුන් ළඟ නොමැති අඩුවක් නැහැ   දැනුනේ 
සෙවණැල්ලක් විලසිනි මා ළඟ              රැඳුනේ 
දරු සෙනෙහසට මැදි වී ජය කොඩි       බැඳුනේ 
ඔබෙ පපුතුරෙහි සෙනෙහහස නිති රැළි නැගුනේ 


මාගෙන් තොරවු ජීවිතයක් නුඹ      නොපැතී 
නූඹෙ ළය මඬල මා වෙනුවෙන් නිති  ගැහුනී 
පෙන්වා මග නොමග නිති දියුණුව       විමසී 
අම්මේ නිවන් යන්නට ඒ පිනම             ඇතී!! 


නිමන්තිකා ...

ප.ලි .මා අතහැර නුඹ ගොස් දැන් තෙඅව්රුද්දකි ..සත්තකින්ම නුඹ නමට මාතින් 
ලියවුනේ කවි අතලොස්සකි.ඒ මන්ද නූඹේ ගුණ වැයීමට මට ස්වප්තකය මදි නිසාවෙනි . 


Friday, July 25, 2014

හංස පොහොට්ටු..

"සංකිර්ණ රළු වැඩි "යයි කරමින් හෙට්ටූ 
කොයි කව්රුත් පැදයති ජීවිතේ බෝට්ටූ 
අඩ නිරුවත් උව,නොවුවත් ෆැෂන් පෙරට්ටූ 
අහම්බෙන් වගේ දුටුවෙමි ඇගෙ හංස පොහොට්ටූ 


නිමන්තිකා 

Monday, July 21, 2014

අoජු....

අoජු... 
    අදත් මං පාරදි බැකෝ එකක් දැක්කා.ඔයා මතකෙට අවේ නිතැතින්. අනේ ඉතිං ඒත් ඔයා කොහේ ඉන්නවද? මොනවා කරනවද? ඔයා හොඳින්ද ?මේ කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් මා ගාව නැති හැටි....
                                  මොනව උනත් අපේ අතීතෙ හරිම සුන්දරයි අංජු. ඔයා හුඟක් දැනුම් තේරුම් තිබුන කෙනෙක් උනාට ඒ කාලේ මම නං පුංචි බටු කෙල්ලෙක්. එකනේ ඔයා මට කට පුරා "බට්ටි" කියල කතා කලේ...
              අත්තම්මගේ තුරුලෙ හුරතලේටම හැදුන මට පුදුම සංයමේකින්, හිත නොරිදෙන්න දෙයක් තේරුම් කරන්න පුදුම හැකියාවක් ඔයාට තිබුන. අදටත් ජීවිතේට ඔයා කියලදීපු දේවල් මං පිළිපදිනව.

එත්.... 

      ජිවිතේට හමාගෙන ආපු හීන් හුළඟක් වගේ ආයෙමත් ඔයා හමාගෙනම ඈත් වෙලා ගියා. එදා ඔයා ගිය දවසේ ඉඳන් සතියක් යනතුරුත් මං සාංකාවට උණ ගැනිල බලාගත්තු අත බලාගෙන ඉන්නව කියල ඔයාට අපේ මාම  කිව්වම, සේරම වැඩ පැත්තකට දාල මාව බලන්න දුවන් එන්න තරම් ඔයා හුඟක් කාරුණික උනා. ඔයා ගාව මනුස්සකම කියන දේ අඩුවක් නැතුව තිබුන.
          මට මතකයි ඒ කාලේ ඔයා අපේ ගමේ තියෙන පස් කන්ඩි කපනකොට ඔයාගෙ බැකෝ එක දිහා මං පුදුම අසාවෙන් බලන් හිටිය. මං විතරක් නෙමෙයි, ගමේ පුංචි දරුවො ඔක්කොමල ඉස්කෝලෙ ගිහිං ඇවිත් බත් පත දිහාවත් නොබල දුවන් අවේ ඔයාගෙ වැඩබිමට. ඔයා ඒ හැමෝටම ආදරෙන් සැලකුව. ඒ උනාට බට්ටි නම් හිටියෙ ඔයාව අයිති කරගෙන. 

        ඒ දවස් වල "අංජු ත් මගේ... අංජු ගෙ බැකෝ ඒකත් මගේ..." කිය කියා අණසක පතුරවනකොට මං දිහා ඔයා ඇස් දෙක හීනි කරල බලල හිනාවෙලා ඔළුව අතගාල කියනව
"හොඳ දරුවෙක් වෙලා හොඳට ඉගෙනගන්න ඕන, හැමදාමත් ලස්සනම ලස්සන බට්ටියෙක් වගේ හොඳට හැදෙන්න ඕන" කියල.

     ඒ දවස් වල ඔයා හැමදාම මට පළතුරු ගෙනත් දෙනව කන්න කියල. වැඩබිමට එන්න එපා කියල අපේ මාම සත්තම දාද්දි මං බිම පෙරලිලා අඬනකොට අත්තම්ම කිව්වෙ 
"එක එක ජාතියේ පිරිමි ඉන්න තැන් වල කෙල්ලෝ එහෙම තියන්ඩ බෑ මයෙ රත්තරනෙ" කියල. 
        ඉතිං ඒ කාලෙ කිසිම බරපතලක් නොතේරුන මං කලේ හති වැටෙනකල් අඬපු එක .ඉතිං අත්තම්මට සිද්ද උනා මාවත් එක්කං වැඩබිමට එන්න.
                                                                  එදා දැනුන සතුටට ඔයා බැකෝ එකේ වැඩ කරන කිට්ටුවටම මං දුවගෙන ගියා. ඔයා පුදුම වෙලා ඉක්මනින් බැකෝ එක නතර නොකල නම් බට්ටිට දරුණු අනතුරක් වෙන්නත් තිබුන. එදා අපේ මාමා මට දෙන්න සැදී පැහැදී ඉඳපු ගුටි පුජාවෙන් මාව බේරුනේ ඔයා දුවල ඇවිත් මාව වඩාගෙන පැත්තකට ගිය නිසා.. එත් ඒ වෙලාවේ ඔයාගේ අත් දෙක හොඳටම ගැහුන කියල නම් මට හොඳට මතකයි. 

    එදා ඉඳන් ඔයා මාව බැකෝ එක ඇතුලෙන් තියං වැඩ කරන්න පටන් ගත්ත. අපහසු උනත් ඔයා මුකුත් කිව්වෙ නෑ. ඒ වෙද්දී හවස කිරි එක හදාගෙන ලේන්සුවකින් ඔතාගෙන වැඩබිමට අරං එන තත්වෙට අත්තම්මට හැඩගැහෙන්න සිද්ද වෙලා තිබුන. ගිනි කාෂ්ටක අව්වේ ඔයා වැඩ කරද්දි ඔයා ලඟට වෙලා බලං ඉද්දි දන්නෙම නැතුව මට නින්දත් යනව. ඒ වෙලාවට ඔයා වැඩ ටිකකට නතර කරල බොහොම ආදරෙන් මාව ගෙදර ඇරලනව.
                                                   
     ඉතිං ඔහොම ගලාගෙන ගියපු සුන්දර දවස් වලට තිත තියපු නපුරු දවසක් ආව.ඔයාලගෙ ගිවිසුම් කාලය ඉවර වෙලා තිබුන. එදා බට්ටි ට ඉස්කෝලෙ නිවාඩු දවසක් ඔයාල යද්දී අපේ ගම හුගක් ලස්සන වෙලා දියුණු වෙලා තිබුන. ඔයා ගමේ හුගක් ගෙවල් වලට ගිහිං කථා බහ කලා. ඒ හැම තැනම ඔයාගේ අතේ එල්ලිලා බට්ටිත් ගියා. ඔයා මුලින්ම ආව වගේම යද්දි අන්තිමට බට්ටිගේ ගෙදරට ආව. ඔයා අපෙන් වෙන් වෙලා යද්දී 
"අනේ අංජු යන්න එපා............!" කියල මං ඔයාගෙ අතේ එල්ලුනේ මුණ පුරාවට උණු කඳුළු ඉහිරෙද්දි. ඒ වෙලාවෙ ඔයාගෙ ඇස් දෙකත් රතුවෙලා තිබුන.


         එදත් ඔයා මගේ ඔළුව අතගාල "මතකනේ... හොඳම හොඳ ලස්සන බට්ටියෙක් වෙන්න ඕනෙ. ලස්සනට ආඩම්බරෙන් ඉන්න ඕනෙ. අඳුනන්නේ නැති පිරිමි අය ළඟට යන්න එපා. බුදුසරණයි බට්ටි!" කියල කිව්ව.


        එහෙම කියල අපේ අත්තම්මටත් වැඳලා බැකෝ එකේ නැගල යන්න ගියා.බට්ටි කෑ ගහල ඇඬුවා. අත්තම්මත්  ඇඬුවා. ආයෙ අසනීපවෙලා ඉද්දි ඔයා මාව බලන්න ඇවිත් යනකොට කිව්වෙ 
       "පුළුවන් උනොත් ආයෙ ඉක්මනටම එන්නම් බට්ටියො පරිස්සමින් ඉන්නකො" කියල. 
             
             ඒත් ඔයා ආවෙ නෑ...

          "නුවර ඉඳන් ගාල්ලෙ එන එක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයිනෙ" කියල අත්තම්ම කිව්වා.. සමහරවිට ඔයාට එන්න පුළුවන්කම තිබුණත් ඔයා හිතාමතාම ඒක මගහරින්න ඇති. මං ආයෙම අසනීප වෙයි කියන බයට.
            
              දින, සති, මාස, අවරුදු ගණන් ගෙවිලා ගියා. අදටත් මම මාමගෙන් ඔයා ගැන විස්තර ඇහුවොත් එයා දෙන උත්තරේ 
 "දන්නෙ නැහැ දරුවො".
  ඒ වුනත් එදා ඉඳල මං ආසම වාහනේ උනේ බැකෝ එක (මං කෙල්ලෙක් උනත්) අදටත් කොහේ හරි බැකෝ එකක් දැක්කොත් මං ඒ දිහා බලාගෙන ඉන්නව.
           දැන් බට්ටිත් ඔයා දැක්කට වඩා වෙනස් වෙලා. එත් ඔයා දැකපු පුංචි බටු කෙල්ල අදටත් මගේ ආත්මය ඇතුලේ ඉන්නව. මං "දිළිසෙන ඇස්" එක්කල කිව්ව

 "ඔයා කවදාහරි ලොකු උනාම කාර් එකක් ගන්න එපා, බැකෝ එකක් ගන්න" කියල.

 එයා එයාගෙ ඇස්  දෙක නළලට අරං "හපොයි "කිව්ව.

"ඇයි ඒ ?" කියල ඇහුවම මං මේ කතාව එයාට කිව්ව.
                                                             
         "දිළිසෙන ඇස් " නිතරම කියන්නෙ මේක පුංචි රටක් නිසා අපිට අංජු ව මුණගැහේවි කියල. එත් දැන් දශයකටත් එහා ගිහිං මයෙ හිතේ.. කමක් නෑ අංජු ඔයා ගැන හරි උතුම් විදියට, ඒ ලස්සන දවස් ගැන හරිම ලස්සන චිත්‍රයක් විදියට මගේ හිතේ ගැඹුරෙම තැන්පත් වෙලා තියෙනව.ඉතිං ඒ මතකය ඇතුලෙ අදටත් මට කියවෙන්නෙ...

 "අංජු ත් මගේ අංජු ගෙ බැකෝ එකත් මගේ......"


නිමන්තිකා ..

Friday, July 18, 2014

නුඹට හැඟෙනා

මේ පෙනෙන සැහැල්ලුව ,නිදහස 
නුඹට හැගෙනා ...
මගෙන් දුරකට 
ඇදී ගොස් බව
නුඹ  දැනගෙන උන්නා නම් ...
කිසිදිනක නිදහසේ 
මා සේම දුරකට 
ඉගිලෙන්නට නොසිතෙයි 
නුඹට නම් ...
වැයෙන අත් තටු තාල නගමින් නොව 
වේදනාවට ගැහෙන පියාපත් 
මේ දරනුයේ 
නිවාගන්නටයි ගින්දර 
හදෙහි ඇවිලෙන 
අදට හෝ ..... 
නිමන්තිකා 

Wednesday, July 16, 2014

සක්මන් සඳ...

සක්මන් සුදු සඳක් වෙලා 
සිත් අහසට විටක වඩින ,
ස්වප්න ලොවේ මල් අතරේ 
පරසතුමල සේම පිපෙන ,
නුඹත් ගියා සිතත් අරං 
මට කිසිවක් නැහැනෙ උරුම...
මාස ගණන් පෙරුම් පුරා 
ඔබෙ සිනහව දෙනෙත මැවෙන 
වදන් ගොළුවෙලා ආලයෙ 
සිව් නෙත් ආදරබර වුන,
ලෝකය තනි යායක් නම් 
කඳු හෙල් බාධා නොමවෙන 
කෙදිනක එක් වේවිද අප 
"ආලයෙ මුනිවත සුරකින " 


නිමන්තිකා .

Tuesday, July 15, 2014

FM අන්දරය


ඉතිං  "දිළිසෙන ඇස් " ..ඔයයි මමයි වැස්සයි හුගක් ලඟයි නොවැ . වැස්ස එක්ක අපේ තියෙන තවත් සොඳුරු මතක වලින් එකක් තමයි මේ..
                                  මේකයි කතාව.දවසක් මම "දිළිසෙන ඇස්" එක්ක හවස 6.30 ට විතර 120 කැස්බෑව පිටකොටුව බස් එකක හිටගෙන එනව ජොබට ගිහින්..අවට හොඳටම වැස්ස, නිකං නෙවේ අකුණු ගහනව,ගොරවනව එක යුද්දයයි.මං ඉතිං වැස්ස යටදි කොයි තරම් පිස්සු නැටුවත් අකුණු වලට බයයි නොවැ .
ඉතිං මං දිළිසෙන ඇස් ලගට කිට්ටුවෙලා ඇහුව "අපි බස් එකේ යද්දි අපිට අකුණු වදින්නෙ නැද්ද?"
ඉතිං දිළිසෙන ඇස් එයා දන්න ශිල්ප ඔක්කොම දමල මට ඒ ගැන විස්තර විචාරයක් දෙනව.ඔය අතරෙදි FM නාලිකාවේ නිවේදනය වුනා ලස්සන ළයාන්විත කටහඬකින් මෙන්න මෙහෙම දෙයක් ,""වැස්ස වෙලාවට මං මගේ boy friend එක්ක කතා කර කර  බස් එකේ යන්න හරිම අසයි... "  මමයි "දිළිසෙන ඇස්" යි මුනට මූන බලා ගත්ත.ඒ 
සැනෙන්ම අපිට තේරුනා මහ අමුත්තක්.එතකොටම අර නිවේදිකාව කියපි , අපි දැන් "...."(FM නාලිකාවේ නම)අහගෙන යනගමන් ඉන්නෙ .දැන් වටේටම හොඳටම වහිනව.බස් එකේ මාර්ග අංකය ,බස් රථය ලියාපදිංචි අංකය වගේම කොන්දොස්තර ,ඩ්‍රයිවර් මල්ලිලා ඇඳල ඉන්න T Shirt වලත් පාට කියපි.
ඉතිං අපිට දැනුන අමුත්ත ගැන අයෙ ඔයාලට සැකයක් නෑනේ..ඒ වෙලාවෙ විස්තර විචාරයට අදාල වන ගනයට අයත් උනේ දිළිසෙන ඇසුත් මමත් විතරයි.(තව අයියෙකුයි අක්ක කෙනෙකුයි හිටිය ඒ  දෙන්නත් හොදටම දොයි )
                                   බස් එකේ ඉඳපු කස්ටියගෙන් "ටියුබ් ලයිට්" නොවුන ටික දෙනෙක් හැරෙන්න අනිත්  හැමෝම වගේ අපේ  දිහා අමුතුවට බලල හිනාවක් දාද්දි මට නං වැස්සෙම හීන් දාඩියකුත් දැම්ම.
ඒ  එස් .එම් .එස්. එක  අර   FM නාලිකාවට කව්රු යැව්වද කියන එක අදටත් අපිට රහසක් උනාට ඒක අපේ ආදර අන්දරයට තවත් රසබර මතකයක් එක් කල බව නම් ඉතිං කියන්නම ඕනි.එදා "අයියෝ සල්ලි "කියල දිළිසෙන ඇස් ගෙ කටින් පිට වුනත් අදත් ඒ ගැන මතක් කරද්දි එයාගෙ දිළිසෙන ඇස් තවත් දිළිසෙන බවත් 
කියන්න ඕනි.  

Saturday, July 12, 2014

වැස්ස ,මම සහ ඔබ .....





පළාතම අඳුරු කරගෙන ,ගස්වැල් අඹරවාගෙන ලොකුම ලොකු කුණාටු පරිසරයක් එක්ක නා කපන වැස්සක් ඇදහැලෙනව.මං දන්නව වහින වෙලාවට ඔයා ලෝකේ කොයි කෙලවරේ උන්නත් ඔයාගෙ හිත මං ගාවට දුවන් එනව කියල .ඒ තරමටම ඔයයි මමයි වැස්සයි හරිම ලඟයි .

වහින වෙලාවට මගේ හිතට පිහාටු ලැබෙනව.ඈතට ඈතට ඉගිලිලා යන්න තරම් සැහැල්ලු වෙනවා .වැස්සේ තෙමි තෙමි දඟ කරන එක පුන්චිකාලෙ ඉඳලම මට තිබුන පුරුද්දක්...එත් ඉතිං ඔයා බයයිනෙ මං තෙමිල ලෙඩ හදාගන්නව කියල.ඉතිං ඔයාගෙ උනාට පස්සෙ වහින වෙලාවට එලියට පැනල එක ඕසෙට තෙමෙන්න හිතුනත්,ඔයාට call  1ක් හරි පුංචි  sms 1ක් හරි දීල ඒ ගැන අහල ඔයාව කලබල කරන තරමට මං බොළඳ වෙනව.මගේ හැටි දන්න නිසාම ඔයත් හරිම ආදරෙන් එව ඉවසනව.
                           වැස්සයි ඔයයි මමයි එක්ක තියෙන මතකයන් නම් හුගක් තියෙනව.දවසක් නිදහසේ සැරිසරන්න කියල ඉදි වෙලා තියෙන ප්‍රසිද්ධ ස්ථානයක වාඩි  වෙලා අහස දිහා බලන් ඔහේ කියව කියව ඉද්දි එකපාරටම වැස්සක් කඩන් වැටුන . එදා නම් ඔයාටවත් මාව නතර කරන්න පුළුවන් උනේ නෑ.
දෙනෝදාහක් මැද්දෙ  ලෝකෙම දිනුව වගේ මං උඩ පැනල කෑ ගගහ දැඟලුව.ඔයා මාව නතර කරන්න කොයි තරම් උත්සහ කලත් අන්තිමේ ඔයාම හති වැටිල බොරුවට තරහ මුණක් මවන් මා දිහා බලං හිටිය.එත් ඔය දිළිසෙන ඇස් අස්සෙ ලොකූ ආදරයක් ඒ වෙලාවෙත් තිබුන..

                       තවත් දවසක campus එකේදී වැස්ස වැටෙනකොට ඔයා මාවත් ඇදන් බුදු පිලිමෙ ලඟම තිබුන ටකරන් මඩුවට දුවල ගියත් ඈත වැහි බින්දු වැටෙන හැටි දැකල හිත සලිත වුන නිසාවෙන්ම ඔයාවත් අතඇරල බෑග් එකයි කුඩෙයිත් බිම දාල මං එලියට පැනල උඩ බලාගෙන තෙමුන.එදා ඒ හට් එක ඇතුලෙ ඉඳපු අනිත් ළමයි ලෝකේ අටවෙනි පුදුමේ දිහා බලනව වගේ බලන් ඉද්දි ඔයා කොයි තරම් නං අසරණ වෙන්න ඇතිද කියල දැන් තමයි මට තේරෙන්නෙ.අන්තිමට මගේ බෑග් එකයි කුඩෙයි අරගෙන මාවත් ඇදගෙන ගිහින්, සාක්කුවෙන් ලේන්සුවක් ඇදල අරං ඔළුව පිහිදල ,හොඳ සත්තමකුත් දැම්ම .කෝම හරි එදා තෙමිල මට හෙම්බත් හැදුන.
                                               ඇයි ඉතිං‍ අව්වට කුඩේ ඉහලන්නත් කම්මැළි මම වැස්ස වෙලාවට බොහොම කැමැත්තෙන් කුඩේ අතට ගන්නෙ ඔයවයි මාවයි දෙන්නම තෙමෙන්න කියල ඔයා නොදන්නවා නෙවෙයි නේ ...ඇයි දවසක් හයියෙන් වහින වෙලාවක බස් එකේ අපි එනකොට වෙච්ච සිදුවීම .(ඒ ගැන වැඩි විස්තර වෙනම ලියන්න ඕනි )ඇයි ඔයා ගෙදර ගියපු දවසක හොදටම හවස් වෙලා ගොරව ගොරව වහිද්දි මං පාරෙදි  අඬ
අඬ ඔයාට call කරපු දවස....එදා නම් උණ ගැනුනේ ඔයාට . මොකද වැස්ස යට කොයි තරම් පිස්සුවෙන් දඟ කරත් අකුණු වලට ගොරවනවට මම කොයිතරම් බයද කියලත් ඔයා දන්නවනෙ.
                          ඒ නිසා වහින හැම මොහොතකම , මං වැස්ස යට දඟ කරයිද ,ගොරවනවට බය වෙයිද ,ඒ මුකුත් නැත්නම් මගේ කවි සිතුවිල්ලක් ලෝකයට   නිදහස් වෙයිද කියල ඔයාගෙ හිත මං ගැන කළබල වෙන බව නම් මං  දන්නව.
                                ඉතිං "දිළිසෙන ඇස් "වැස්සයි මමයි ඔයයි හුගක් ලඟයි ඒක හැමදාමත් එහෙම වෙයි ...

(පොස්ට් එක දිග වැඩිද මන්දා...එත් පුළුවන් උපරිම කෙටියෙන් තමයි ලිව්වෙ.)
                                 නිමන්තිකා 

Friday, July 11, 2014

කහ අරලිය මල


 ප්‍රපාතයේ සුපිපි 
සොඳුරු දසුන 
ලොවටම සුවඳ දුන් 
කහ අරලිය මල අතු අග ...
නෙලාගන්න විගසින්...
නැහැ ...බලා ඉන්න ඈතින් 
මලේ ලස්සන අරුම 
උඩු සිතත් යටි සිතත් 
ද්වන්ධ සටනක 
යෙදී සිටි මොහොතක 
නෙලාගෙන නොව 
කඩාගෙන ගියපසු 
ඒ මල කිසිවෙක්, 
නටුව පමණක් ඉතිරි කර 
වැලපුනා ඉකිබිඳ 
උඩුසිතත් යටිසිතත් 
සමගිව 
එකට අත් වැල් බැඳ ....
නිමන්තිකා 

Wednesday, July 9, 2014

නිහඬ වූ මුවක හඬ

මා දෙස
ශෝකී වෙසින් බලාපු ,
හොර ඇහින් බලාපු ,
අමනාපෙන් බලාපු ,
උපහාසයෙන් බලාපු ,
හිස් බැලුම් හෙලාපු ,
ස්තූතියි !
මෙකී නොකී සකල දනන් හට 
එත් 
නොවැටහුනි 
වැටහුනු බවක් 
මගේ නිහඬ සුගායනය 
මා අනිකකු නොව 
ඔබේ අනාගත ඉරණමේ 
සංකේතය මිස ...

නිමන්තිකා


Sunday, July 6, 2014

එනු මැන....

ලස්සන සිහින රැයකදි සුදු සඳ                    ලෙසට 
නූඹ රුව පෙනෙයි මැවි මැවි යලි මගෙ         සිතට 
ඉස්සර වගේ ලංවීගෙන නුඹ                         ලඟට 
ආදරෙ කියන්නට තාමත් හිතෙයි                     මට

තරු මල් දියේ ගිලි ගිලි සඳ නැති                  දුකට
වැහි බිඳු වැටේ සීතල මල් පෙති                  මතට 
අමවක් රැයක නුඹ සුදු පුන්සඳ                  ලෙසට 
ඉස්සර දිනක ආලෝකය උනා                      මට 

නෙතුපිය පුරා ඉහිරී යන                     කඳුලකට 
සුසුමක් මුසුකරමි පරමල්                     සුවඳකට 
රහසක් කියා පාවෙන උඩු                  සුළඟකට 
නුඹ වෙත එවමි එනු මැන යලි             සිහිනයට 

                                                                 
නිමන්තිකා...

Tuesday, July 1, 2014

" දිළිසෙන ඇස්" ඔයාට සුභ උපන්දිනයක් !!!

ඉතින් "දිළිසෙන ඇස්"... 
 අදින් අවරුදු විසිහතරකට කලින් පිණි වැටෙන සීතල හිමිදිරියක අම්ම කෙනෙක් විඳින දරුණුම 
වේදනාව විඳලා මහා සටනකින් පස්සෙ මේ ලෝකෙට පුංචි පිංවන්ත පැටියෙක් තැගි කරල හුගක් සන්තෝසෙන් හිනාවෙන්න ඇති. ඒ පුංචි පැටියත් එයාගෙ දිළිසෙන පුංචි ඇස් කරකවල මේ ලෝකෙ 
දිහා බලා ඉන්න ඇති .ඒ සිදුවීම හුගාක් ලස්සන හීනයක් විදියට ඒ අම්මගෙ හදවතේ ගැඹුරුම තැනක 
තැන්පත් වෙලා තියෙනව කියල නම් මට විස්වාසයි..
                                                                                  ඉතින් එදා ඒ අම්ම මේ ලෝකෙට හුගාක් ආදරෙන් 
 තෑගි කරපු පුංචි පැටිය අද උස් මහත් වෙලා ,තවත් කෙනෙකුට එයාගෙ ලෝකෙම වෙලා...
මොනව උනත් "දිළිසෙන ඇස් ", ඔයාගෙ ඔය ඇස් දෙකෙන් ජීවිතේකට ජීවත් වෙන්න පාර කියනවා.

ඉතින් "දිළිසෙන ඇස් "...
    මට කියන්න දේවල් හුගක් තියෙනව 
     ඒ ඔයා මගේ නිසා ...
   ඒත් මට කියාගන්න බෑ                                             
     ඒ  ඔයා මගේ නිසා ...
   ඔබ වෙනුවෙන් 
     නෙතට උනන කඳුළ තමයි 
   අද දවසේ දෙන්න තියෙන 
      හොඳම තෑග්ග 
එහෙනම් දිළිසෙන ඇස් 
ඔයාට සුභම සුභ උපන්දිනයක් ...!

මං මේ ලෝකෙ ගතකරන අන්තිම තත්පරය දක්වාම මට ඔය ඇස් දෙකේ දිස්නය විඳගන්න ලැබෙන්න 
කියන එක තමයි මගේ සුන්දරම ප්‍රාර්ථනය !
හුගක්ම ආදරෙන් පලකරන මේ post එක ඔයාට තවත් සුන්දර සිහිවටනයක් වේවි..





               නිමන්තිකා