රoග..,
ඔව් ඔයාගේ දුඹුරුපාට බළල් ඇස් අදටත් ඔයා එනකම් මග බලං ඉන්නව. දැන් ඔයාගේ පුංචි දෝණිට අවු;6 ක් වෙනවා. ඒ කියන්නෙ ඔයා "නිවාඩු අරං" ඒ හා සමාන කාලයක් වෙනව. අදත් යුධ ජයග්‍රහණ සමරුව. වෙනද තරම්ම ජයට නෙවි ලු. සමරු උත්සවේට එන්න කියල ආරාධනාත් ලැබුන. මං ඔයාගේ අම්මව යවල පුරුදු විදියට ඔයාගේ සුදුබෝලේ වඩාගෙන කුඹුක් ගහ ලඟට ආව. ඔව් ඔව් ළමයෝ ..,
ඔයා ඉස්සර ලෝකෙටම හොරා මට රහස් කියපු තැන.
අපි දෙන්නගේ පළමු හාදුව හුවමාරු වුන තැන.
ඒ කාලේ දැන් වගේ නෙවෙයි. මං පොඩි කෙල්ලෙක්. ඔයා ගැන මං මගෙ යාළුවො එක්ක කතා කලේ හරිම ආඩම්බරෙන්. ආමි කොල්ලෙක් එක්කයි යාළු කිව්වම පවුලේ ඔක්කොම විරුද්ධ උනත් මට නම් ඊට වඩා වීරකමක් තිබුනෙ නෑ.
මතකද ඉස්සර ඔයා නිවාඩු ආවම.? අපි කොහේ කොහේ යනවද.? පංති කට් කලේ ඉගෙන ගන්න ආසාවක් නැතුව නෙවේ. ඔයා එක්ක ඉන්න ඊට වඩා ආස වුන නිසා. ඒ ආපු හැම දවසකම අපි එක ප්‍රශ්නයක් ළඟ නතර උනා. අපේ සම්බන්දෙට විරුද්ධ වුන හැමෝටම, ත්‍රස්තවදියෙකුටවත් බය නොවුන ඔයා බය උනා. ඒකෙ ප්‍රතිපලයක් විදියට ඔයා වන්නි සටනට යන්න කලින් දවසේ ලෝකේ කාටත් හොරා අපි අපේම උනා . පුරුදු විදියටම ඔයාගේ කකුල් අල්ලලා වැඳ වැටුන මං දිහා බලං කවදාවත් නැති විදියට ඔයා ඇඬුව.....
ඔයා අන්තිමට මට ලියපු ලියුමෙ තිබුනෙ රොෂාන්ගේ ප්‍රසිද්ධ සින්දුවක්. "නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න..." ඒ ඔයා ගිහින් මාස 3කට පස්සෙ. ඒ වෙද්දී ඔයාගේ දූ පැටියට මාස 3ක් කියල දොස්තර කිව්ව. ගමේ මිනිස්සු කියන කතා, ගෙදරින් ගුටිකාපුව, කිසිම දෙයක් මං ඔයාට ලීවේ නෑ. ලියපු එකම දේ "ඉක්මනින්ම මගුල් මුද්දත් අරං එන්න. අම්මලාව මං කැමති කරගත්ත" කියන එක විතරයි.
ඔයා නිවාඩුවක් අරං ආව. හැබැයි ගියපු විදියට නම් නෙවෙයි. ඔයාගේ බඩුටික භාර දීපු අයිය රතුපාට පෙට්ටියක දාපු මගෙ මගුල් මුද්ද දීල වහළේ උළු ගණන් කරපු වෙලාවෙ මට ඇහිපිය ගහන්න වත් අමතක උනා. දෝණිගේ සුදු තාත්තිය දෝණිව නොදැකම සදහටම නිවාඩු අරං තිබුන.
දින, සති, මාස, අවරුදු ගණන් ගෙවුන. දැන් හුඟක් අයට ඔයාව අමතකයි. ඔයාගේ බඩු ටික තවම පරිස්සමට තියෙනව. හරියට කෞතුක වස්තු වගේ. ඒ අස්සේ ඔයා ඉස්සර මගෙ දිග කොන්ඩගස් අරං ගියපුව හරි ආදරෙන් ලේන්සුවක ඔතල ඔයාගේ බෑග් එකේ ඔයා දාපු විදියටම තියෙනව. ඔයා ආස කරපු දිගම දිග කොණ්ඩෙට, ඔයා අයිති කරන් හිටපු බෝල බළල් ඇස් වලට, හුඟක් අය කැමති උනා. ඒත් මං කොහොමද ඒව තව කෙනෙකුට දෙන්නෙ.? ඒ හැමදේම අයිති ඔයාට වෙච්චිකොට...
දෝණිගේ හැම උපන්දිනේකටම මං "රණවිරු ස්මාරකය" ගාවට ගිහිං ඔයාගේ නම පෙන්නනවා. උප්පැන්නට ඔය නම නොදුන්නට ආත්මෙන් එයාගේ තාත්ත ඔයා. ලෝකයා මොනවා කිව්වත් මේ ටික නම් ඔයාට කියන්නම වෙනව. දූ ඔයාව හොයත්දී මං හරිම අසරණ වෙනව. දැන් නං එයාටත් ටිකක් තේරෙනව. මොනව උනත් අපේ ආදරේ වෙනුවෙන් ඒ හැමදේම මං ඉවසනව.
ඔයා කිව්වා වගේ මේ දිග කොණ්ඩෙට මං හැමදාම තෙල් ගාල ගොතනව. ඈත අහසේ හැමදාම දිළිසෙන තරුවක් වෙලා ඔයා මගෙ ළග ඉන්නව කියල මං දන්නව. ඒ තරුවෙන් බැහැල ඇවිත් කුඹුක් ගහ ලඟදි මට දෙන හාදුව ඉල්ල ගන්න මං හැමදාම හවසට එතනට එනව.
දැන් දුව ටිකක් ලොකුයි. ඔයාගේ කපාපු පළුව. කට කොනින් ඔයා දාන හිනාව ඒ විදියටම එයාටත් තියෙනව.
ඔයාව අනිත් කාට නැතත් මට සදාකල් මගේ ලෝකේ වීරය. ඔයාල වගේ අය නිසා අද මේ හැමෝම නිදහසේ ජිවත් වෙනව.ඔයාගේ ආදරයේ වටිනාම මතක සැමරුම ජිවිතේ දෙවනි කරල මං පරිස්සමට හදනව..
දිළිසෙන තරුවක් වෙලා හරිම පරිස්සමට ඔයා ඉන්න.
මේ ඔයාගෙම
සීදේවි....
(අවාසනාවට තවත් ඇත්ත කතාවකි.)