Thursday, October 1, 2015

ඉතිං සුන්දර ආරක්‍ෂිත ළමාදිනයක් වේවා!


ලොවක් දිනවන අනාගත අරුණැල්ල වන්නේ අපේ සොඳුරු දරු දැරියන්මය. නොවක් බලාපොරොත්තු අහස උසට තනා අප දරුවන් වෙනුවෙන් සිහින දකින්නෝ වෙමු. නමුත් ඔවුනට හෙට ලොව දිනන්නට සුදුසු සමාජ වටපිටාවක් අපි විසින් නිර්මාණය කර ඇතිද යන්න තවමත් පිළිතුරු රහිත පැනයකි. අපට ලඟා කරගත නොහැකි තරම් වූ සිහින මාලිගා අපි දරුවාගේ කරපිටින් හෝ ලඟා කරගැනීමට සිහින මවමු.එසේම වැඩිහිට සමාජයෙන් ඉටුකරගත නොහි නොසංසිඳෙන ආශාවන් මෙන්ම කුහක කාම ආශ්වාදය සඳහාම ළමයින් යොදාගන්නා තෝතැන්නක් බවට අප සමාජය පත් කරගෙන ඇත්තෙමු. මේ ගැන ගැඹුරින් සලකා බැලූ කල අපට ඇති වන්නේ දීන පරාජිත හැඟිමක් පමණක්ම යැයි ඔබට මට එකහෙළා පිලිගැනිමට සිදුවන ඛේදවාචකයකි.  

මෙවර ලෝක ළමා දිනයේදී අප විසින් අප හටම පොරොන්දු විය යුත්තේ, අපේ මල් කැකුළු වලට සොඳුරු අනාගතයක් නිර්මාණය කිරීමටත් වඩා ඔවුන්ට යහපත් වර්තමානයක් උදා කරදීමත් ඔවුන් වත්මන් දුෂිත සමාජයෙන් ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීමත් ය. ඉතිං සුන්දර ආරක්‍ෂිත ලෝක ළමාදිනයක් වේවා!


නෙක වර්ණ සිහින නම් බෝමයි 
චාටු වදන් විෂඝෝරයි 
පා පොඩිති තියා පෙරටම නැගෙනු පුත
මග වළකන්නට උන් රෑනයි

අම්මා අප්පත් අද දුරකැයි
වෙසමුණියො පිසාචයො එමටයි 
ඇස් පොඩිති හැර බලා හිඳින්න මා පුත
සනසන විලසින් රකුසන් මැයි 

මා පිය උණුසුම සුව පමණයි 
අන් සැවොම වත්මනේ අකැපයි 
දෙසවන් විදහාගෙන ඉඳින්න මා පුත 
නපුරු වනසතුන් ළඟ සුලබයි 
nimanthika