Monday, May 25, 2015

එනු පියඹලා තටු සලා විගසින

හීන මුහුවුණ හීන් හුළඟක 
කැලතිලා උණුහුම් සුසුම් ස්වර 
මල්වර වෙලා පැතුමන් පෙමින් හද
ඉමි කිමිදිලා සැනහී මෙමා අද 

නිල් ඉහිරිලා ආකාසෙ පුරාවට 
උණුහුම් වෙලා මත්වී ලවන් යුග 
අඩවන් වෙවී නෙත් හිනැහෙනා සඳ 
ඉඳිනුයෙ කෙලෙස සඟවා රහස් ගඟ 

එනු පියඹලා තටු සලා විගසින 
ඉමි මග බලා මගෙ සිහින හැඩකර
සිත ඉකිගසා වැළපෙනා හැම වර
දෙනු නුඹේ නුරා ආසිරි සුසුම් මැද  
  

Wednesday, May 20, 2015

නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න...

රoග..,
          ඔව් ඔයාගේ දුඹුරුපාට බළල් ඇස් අදටත් ඔයා එනකම් මග බලං ඉන්නව. දැන් ඔයාගේ පුංචි දෝණිට අවු;6 ක් වෙනවා. ඒ කියන්නෙ ඔයා "නිවාඩු අරං" ඒ හා සමාන කාලයක් වෙනව. අදත් යුධ ජයග්‍රහණ සමරුව. වෙනද තරම්ම ජයට නෙවි ලු. සමරු උත්සවේට එන්න කියල ආරාධනාත් ලැබුන. මං ඔයාගේ අම්මව  යවල පුරුදු විදියට ඔයාගේ සුදුබෝලේ වඩාගෙන කුඹුක් ගහ ලඟට ආව. ඔව් ඔව් ළමයෝ ..,
 
       ඔයා ඉස්සර ලෝකෙටම හොරා මට රහස් කියපු තැන.
       අපි දෙන්නගේ පළමු හාදුව හුවමාරු වුන තැන.
     
    ඒ කාලේ දැන් වගේ නෙවෙයි. මං පොඩි කෙල්ලෙක්. ඔයා ගැන මං මගෙ යාළුවො එක්ක කතා කලේ හරිම ආඩම්බරෙන්. ආමි කොල්ලෙක් එක්කයි  යාළු කිව්වම පවුලේ ඔක්කොම විරුද්ධ උනත් මට නම් ඊට වඩා වීරකමක් තිබුනෙ නෑ.
 
       මතකද ඉස්සර ඔයා නිවාඩු ආවම.? අපි කොහේ කොහේ යනවද.? පංති කට් කලේ ඉගෙන ගන්න ආසාවක් නැතුව නෙවේ. ඔයා එක්ක ඉන්න ඊට වඩා ආස වුන නිසා. ඒ ආපු හැම දවසකම අපි එක ප්‍රශ්නයක් ළඟ නතර උනා. අපේ සම්බන්දෙට විරුද්ධ වුන හැමෝටම, ත්‍රස්තවදියෙකුටවත් බය නොවුන ඔයා බය උනා. ඒකෙ ප්‍රතිපලයක් විදියට ඔයා වන්නි සටනට යන්න කලින් දවසේ ලෝකේ කාටත් හොරා අපි අපේම උනා . පුරුදු විදියටම ඔයාගේ කකුල් අල්ලලා වැඳ වැටුන මං දිහා බලං කවදාවත් නැති විදියට ඔයා ඇඬුව.....

       ඔයා අන්තිමට මට ලියපු ලියුමෙ තිබුනෙ රොෂාන්ගේ ප්‍රසිද්ධ සින්දුවක්. "නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න..."  ඒ ඔයා ගිහින් මාස 3කට පස්සෙ. ඒ වෙද්දී ඔයාගේ දූ පැටියට මාස 3ක් කියල දොස්තර කිව්ව. ගමේ මිනිස්සු කියන කතා, ගෙදරින් ගුටිකාපුව, කිසිම දෙයක් මං ඔයාට ලීවේ නෑ. ලියපු එකම දේ "ඉක්මනින්ම මගුල් මුද්දත් අරං එන්න. අම්මලාව මං කැමති කරගත්ත" කියන එක විතරයි.

       ඔයා නිවාඩුවක් අරං ආව. හැබැයි ගියපු විදියට නම් නෙවෙයි. ඔයාගේ බඩුටික භාර දීපු අයිය  රතුපාට පෙට්ටියක දාපු මගෙ මගුල් මුද්ද දීල වහළේ උළු ගණන් කරපු වෙලාවෙ මට ඇහිපිය ගහන්න වත් අමතක උනා. දෝණිගේ සුදු තාත්තිය දෝණිව නොදැකම සදහටම නිවාඩු අරං තිබුන.

            දින, සති, මාස, අවරුදු ගණන් ගෙවුන. දැන් හුඟක් අයට ඔයාව අමතකයි. ඔයාගේ බඩු ටික තවම පරිස්සමට තියෙනව. හරියට කෞතුක වස්තු වගේ. ඒ අස්සේ ඔයා ඉස්සර මගෙ දිග කොන්ඩගස් අරං ගියපුව හරි ආදරෙන් ලේන්සුවක ඔතල ඔයාගේ බෑග් එකේ ඔයා දාපු විදියටම තියෙනව. ඔයා ආස කරපු දිගම දිග කොණ්ඩෙට, ඔයා අයිති කරන් හිටපු බෝල බළල් ඇස් වලට, හුඟක් අය කැමති උනා. ඒත් මං කොහොමද ඒව තව කෙනෙකුට දෙන්නෙ.? ඒ හැමදේම අයිති ඔයාට වෙච්චිකොට...


     දෝණිගේ හැම උපන්දිනේකටම මං "රණවිරු ස්මාරකය" ගාවට ගිහිං ඔයාගේ නම පෙන්නනවා. උප්පැන්නට ඔය නම නොදුන්නට ආත්මෙන් එයාගේ තාත්ත ඔයා. ලෝකයා මොනවා කිව්වත් මේ ටික නම් ඔයාට කියන්නම වෙනව. දූ ඔයාව හොයත්දී මං හරිම අසරණ වෙනව. දැන් නං එයාටත් ටිකක් තේරෙනව. මොනව උනත් අපේ ආදරේ වෙනුවෙන් ඒ හැමදේම මං ඉවසනව.

         ඔයා කිව්වා වගේ මේ දිග කොණ්ඩෙට මං හැමදාම තෙල් ගාල ගොතනව. ඈත අහසේ හැමදාම දිළිසෙන තරුවක් වෙලා ඔයා මගෙ ළග ඉන්නව කියල මං දන්නව. ඒ තරුවෙන් බැහැල ඇවිත් කුඹුක් ගහ ලඟදි මට දෙන හාදුව ඉල්ල ගන්න මං හැමදාම හවසට එතනට එනව.

       දැන් දුව ටිකක් ලොකුයි. ඔයාගේ කපාපු පළුව. කට කොනින් ඔයා දාන හිනාව ඒ විදියටම එයාටත් තියෙනව.
      ඔයාව අනිත් කාට නැතත් මට සදාකල් මගේ ලෝකේ වීරය. ඔයාල වගේ අය නිසා අද මේ හැමෝම නිදහසේ ජිවත් වෙනව.ඔයාගේ ආදරයේ වටිනාම මතක සැමරුම ජිවිතේ දෙවනි කරල මං පරිස්සමට හදනව..

         දිළිසෙන තරුවක් වෙලා හරිම පරිස්සමට ඔයා ඉන්න.

මේ ඔයාගෙම 
සීදේවි....




(අවාසනාවට තවත් ඇත්ත කතාවකි.)     

Monday, May 18, 2015

වැතිර සයනෙක ගිලී සිහිනෙක නුඹ වයයි තනුවක් මෙදා

සිහිනයක් වී සැඟව ගත්තද 
ගිගුම් දුන් රන් ස්වර වයා?
අතැඹුලක් ලෙස - යුගත පෑ නුඹ 
ගුත්තිලම විය දස දිසා 

නෙතඟ සිනිඳුවට තෙත් වෙනා කල
නුඹ වැයුම් රඟ නිති අසා 
කප්පරක් දුක් වා තලට පිඹ 
මත් වුනෙම් අප සැනසිලා

වැතිර සයනෙක ගිලී සිහිනෙක 
නුඹ වයයි තනුවක් මෙදා
කියන් සොහොයුර - කෙදින ඒද යළි 
නුඹේ ඒ සරු සුභ සිනා 


Tuesday, May 12, 2015

සීවලී යන්ත්‍රය

"සීවලී රුව තිබෙන ගෙයි නම් 
බතින් කිසිවිට නොවේ අඩුවක් "

මසැසින් දුටුවිට සීවලී හිමි රුව 
මනසට නැගුනේ පෙර ඒ කී බණ 
සත්‍යක්මද?
පසක් කරගන්නට සිතුනි මට 
නමුත් පෙනෙනා පරිදි නම් ,


පියෙකු දුක්වී හෙළු කඳුළැල් 
දෑත මත කහවණුව හැරුණේ 
ලැබුණු කහවණු ගෙදර වළඳේ
බතක් වී කුසගින්න නිවුණේ...

පියෙකු නැති කළ කාසි ලැබුවට 
මවක නැති කළ උයා පිහුවට
ගෙදර ඇති සීවලී හිමිසඳ 
කන්ට දුනිදැයි නොඒ මතකෙට 

පොළව මත පය තබා කදිමට 
වෙහෙස වී දිවි ගෙවන තරමට 
යසස් ලැබිලා කුසත් පිරිලා 
දිවිගෙවන්නට හැකිය සදහට 

දෑත බුද්ධිය
වෙහෙසා තම 
දිරිය ගෙන කල් ගෙවන තරමට 
ලොවේ ඇති නැති බෝ දනන් හට
හැකිය තම කුස පුරව ගන්නට 
ඇතත් නැතුවත් විරාජමානව 
බබලෙත් සීවලී රුව 
ගෙදර බිත මත 




 
 

Tuesday, May 5, 2015

මේ සියළු අව් අස්සේ මා පුංචි අම්මා කෙනෙක් වූයෙමි

       ඒ වර්ෂ 2015 ක් වූ බක් මස 28 වැනි අඟහරුවාදාය. දැඩි අසනීප සුවයෙන් පසුවූ නමුදු දිලා අමාරුවෙන් ඇඳ පැළඳ ගත්තේ අදවත් ඔපීසියට ගොස් වැඩ ටික හමාර කරගත යුතුය යන පරම පිවිතුරු උතුම් චේතනාව සහ හිතේ හයිය නිසාමය. නමුත් මගේ බොකුටු පොකුටු කොණ්ඩයේ රැළි හැර පීරන කල මොබයිලයා නොනවත්වා නාද වෙන්නට පටන් ගත්තේ දිලාගේ මුවට "චක්" යන ශබ්දය ද එක්කාසු කරමිනි. කව්ද යකෝ එපාර යනුවෙන් සිතමින් මොබයිලයාට ප්‍රතිචාර දෙන්නට වූයේ ගැහෙන දෙහෙන කම්මැලිකමිනි.

    ඉතාමත්ම භක්ත්‍යාදරයෙන් "හෙලෝ" යයි කියූ කල අනෙක් පසින් කලබල මධුර මනෝහර කටෝර වොයිස් එකකින් මෙසේ දෙසවනේ නින්නාද වුනි. "දිලා පුතේ අක්කට අමාරුයි ඇඩ්මිට් කලා ඉක්මනින් එන්න". ඒ අපේ ලොකුඅම්මා ය.

     කණ අයිනේ වෙඩි දහසක් පිපිරුණි. ඇයිද?කොහේද? කිසිවක් ඇසිමටවත් ඉඩක් නොලැබුණු අතර මට ක්‍රමයෙන් සියල්ල තේරුම් ගියේය. 
        
       අවසිහියක මහත.! 

     සුදු ඇත්පැටියෙකු නෙළුමක් සොඬින් ගෙන අප අක්කාගේ කුස වෙත සිහිනෙන් රිංගා තිබුනේ මීට නවමසකට පෙරය. වහා ක්‍රියාත්මක වූ දිලා පුරා හෝරා එකහමාරක් ඇතුළත ගම් නියම් ගම්  බලා ගමන් ගත වූයේ මහින්ද මාමිගේ අශ්චර්යයේ බල මහිමයෙන් ඉදිවූ අධිවේගී මාර්ගයෙනි.

    කොහොමින් කොහොමින් හෝ හොස්පිටිතාලය වෙත සේන්දු වූයේ දහවල් 12.50ටය. තුම්මුනින් දහඩිය පෙරාගෙන දිලා ලෝඩ් සේ ගේට්ටු පළුව තුලින් ඇතුළු වීමට දැරූ අසහාය උත්සාහය උපන්ගෙයිම ව්‍යර්ථ වූයේ හැඩි දැඩි සිකුරුටි කරුවෙකුගේ ග්‍රහණයෙනි.

      "කෝ පාස් .?" උන්දැගේ පැනය විය.

      "පාස් .?"

   මම අන්දුන් කුන්දුන් වුනෙමි. ලෝකයේ ලොකුම පුදුමය දුටු කල මෙන් මා සිටිනු දැක උන්දෑ තවත් ෆෝම් විය.

  "පාස් නැතිව කොහොමවත් යන්න දෙන්න බෑ. දන්නෙ නැත්ද මෙතන සිස්ටම් එක.? මොන ලෝකෙද ජිවත් වෙන්නෙ.? පාස් එකක් අරං එන්න නැතිනම් යන්න. ඔතන කොච්චර හිටියත් ඇතුලට යවන්නැ" 
   
     යනුවෙන් හතර අතේ ඔහුගේ පුචානම දොඩවන්නට විය. මගෙ රතුකට්ට "පරම තරහවේ කෝටියේ උපරිම සීමාවද" ඉක්මවා තිබුණි. මගේ ඇඟේ ලේ කෙමෙන් කෙමෙන් රත් වනු සහ කණ දෙපස තඩ් දඩ් යනුවෙන් ඇසෙනු මෙන්ම මුහුණේ මස්පිඬු දඟලන්නට විණි.

     කිසිම තෙතමනයක් නැති ඒ අසික්කිතයා තම නිළ ඇඳුමේ හයිය ගෙන මහා හඬින් එහි නාට්‍ය ඉදිරිපත් කරන අතර මගේ කට ළඟම නිල් කොටු කමිසයකින් සැරසී විරාජමාන වූයේ අන් කිසිවෙක්  නොව අපේ අක්කගේම පෙම්බර සැමියාය.

       අපේ අක්කගේ සැමියා නොහොත් මගේ මස්සිනා ලැමිනේට් කොරපු පටියක් දික් කර යාන්තම් දිලාව ගේට්ටුව ඇතුලට ඇද ගත්තේය. එසේ නොවන්නට දිලාගේ තරහව වචන වලින් පිට වූයේ නම් රෝහල් පොලිසියද ගේට්ටුව ගාව රැස් වනු නොඅනුමානය. ඈශ්චර්යමත් ආසියාවේ මගුල් අඹගෙඩිය ගැන සුපුරුදු පරිදි ඇතිවූ කම්පාවෙන් යුතුව මා ඉක්මන් ගමනින් පියමැන්නේ සුතිකාගාර වාට්ටු දෙසටය. ලෙඩුන් බලන වෙලාව අවසාන වීමට ළඟා වී තිබුනත් හති දමමින් අප ගොස් එක් ඇඳක් ළඟ නතර විනි.

     මගේ සිතේ සියළු දෝමනස්සයන් පහ වූයේ හිරු දුටු පිණිබිඳු වලටත් වඩා ඉක්මණිනි. ලොව ඇති දරුණුතම වේදනාව අභියස අසහාය සටනකින් අනතුරුව ලෝකයම දිනුවා සේ මගේ අක්කා කඳුළු අතරින් සිනාසෙමින් ඇඳ මත හාන්සි වී සිටියේ රෝසමලක් බඳු පුංචි පුතු පැටියෙක් ළමැදේ තියාගෙනය.

   ඔව් හිතවතුනි. දිලාගේ කට ඇරුණි. ඇස් ගැස්සුනි. හිනාවෙන්නද අඬන්නද කියාවත් නිනව්වක් නොවූ මම එහෙමම පහත් වී අක්කාගේ හිස සිඹගතිමි. නොනවත්වාම දෙනෙතින් ගලන සතුටු කඳුළු මැදින් මම පුංචි කිරිකැටියාවදෝතට අරගත් විට මට නැවතත් ඇසුනේ අසික්කිතම වොයිස් එකකින් 

 "ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි. ඇඳන් ළඟ වටවෙලා ඉන්න ඔක්කොමල්ල එලියට ගියොත් හොඳයි."

        ඉතිං මම ඉවසුවෙමි.අන් කිසිවක් නිසා නොවේ. ඒ පුංචි කුරුළු ඇස් දෙක ඇර මගේ දෙසම බලා ඉන්නා මලක් වැනි අපේ අක්කාගේ පණ නළමගේ දෑත මත වූ නිසාවෙන්මය.

    කමක් නැත. මේ ඉන්දියන් සාගරයේ ඇති අනර්ඝතම මුතුඇටයයි. එහි බබ්බුන් හැදීම සහ වැදීමටත් වඩා අපහසු කාර්යය වන්නේ උන් බැලීමය. දහසකුත් හැඟීම් හිත තුල තෙරපාගෙන නැවත එන අතරේත් මට යළි යලිත් මැවී පෙනුනේ මගේ අක්කාගේ කඳුළු අතරින් මතුවූ සිනාවත් කිරිකැටියාගේ මුවත් පමණක්මය. 

   ඉදින් මට දැන් ප්‍රමෝෂන් ලැබුණි.

   මේ සියළු අව් අස්සේ මා පුංචි අම්මා කෙනෙක් වූයේ එසේය.මේ සටහන තැබුයේ ඒ සොඳුරු මතකයට සැමරුමක් ලෙසිනි.රෝස දෙතොලක් හිමි මගේ පුංචි පුතේ මා නුඹේ මව නොවුනත් මා සදා නුඹට මෙළොව ආදරණියම පුංචි අම්මා වෙමි.

    නුඹ පුංචි පා පොඩිති තියා මගේ ආත්මයම හැඩ කරන දිනය වැඩි ඈතක නොවන බව නම් මම හොඳින්ම දනිමි. මම සැබවින්ම නුඹට ආදරය කරමි.