Showing posts with label සිතුවිලි සටහන්. Show all posts
Showing posts with label සිතුවිලි සටහන්. Show all posts

Thursday, October 1, 2015

ඉතිං සුන්දර ආරක්‍ෂිත ළමාදිනයක් වේවා!


ලොවක් දිනවන අනාගත අරුණැල්ල වන්නේ අපේ සොඳුරු දරු දැරියන්මය. නොවක් බලාපොරොත්තු අහස උසට තනා අප දරුවන් වෙනුවෙන් සිහින දකින්නෝ වෙමු. නමුත් ඔවුනට හෙට ලොව දිනන්නට සුදුසු සමාජ වටපිටාවක් අපි විසින් නිර්මාණය කර ඇතිද යන්න තවමත් පිළිතුරු රහිත පැනයකි. අපට ලඟා කරගත නොහැකි තරම් වූ සිහින මාලිගා අපි දරුවාගේ කරපිටින් හෝ ලඟා කරගැනීමට සිහින මවමු.එසේම වැඩිහිට සමාජයෙන් ඉටුකරගත නොහි නොසංසිඳෙන ආශාවන් මෙන්ම කුහක කාම ආශ්වාදය සඳහාම ළමයින් යොදාගන්නා තෝතැන්නක් බවට අප සමාජය පත් කරගෙන ඇත්තෙමු. මේ ගැන ගැඹුරින් සලකා බැලූ කල අපට ඇති වන්නේ දීන පරාජිත හැඟිමක් පමණක්ම යැයි ඔබට මට එකහෙළා පිලිගැනිමට සිදුවන ඛේදවාචකයකි.  

මෙවර ලෝක ළමා දිනයේදී අප විසින් අප හටම පොරොන්දු විය යුත්තේ, අපේ මල් කැකුළු වලට සොඳුරු අනාගතයක් නිර්මාණය කිරීමටත් වඩා ඔවුන්ට යහපත් වර්තමානයක් උදා කරදීමත් ඔවුන් වත්මන් දුෂිත සමාජයෙන් ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීමත් ය. ඉතිං සුන්දර ආරක්‍ෂිත ලෝක ළමාදිනයක් වේවා!


නෙක වර්ණ සිහින නම් බෝමයි 
චාටු වදන් විෂඝෝරයි 
පා පොඩිති තියා පෙරටම නැගෙනු පුත
මග වළකන්නට උන් රෑනයි

අම්මා අප්පත් අද දුරකැයි
වෙසමුණියො පිසාචයො එමටයි 
ඇස් පොඩිති හැර බලා හිඳින්න මා පුත
සනසන විලසින් රකුසන් මැයි 

මා පිය උණුසුම සුව පමණයි 
අන් සැවොම වත්මනේ අකැපයි 
දෙසවන් විදහාගෙන ඉඳින්න මා පුත 
නපුරු වනසතුන් ළඟ සුලබයි 
nimanthika






Thursday, September 17, 2015

ලොකුසාදු දන්නැති

වෙහර මළුවේ කෙළවරක ඉඳ 
තනිව තැවෙනා නා ගහක් ඇති 
හැමට සිසිලස බෙදන අතරතුර 
රකින රහසුත් ඉමක් නැතුවැති 

බෝධි මළුවේ ඉදලෙ ඇමදෙන 
බෝ පතුත් සාක්කියට එනු ඇති 
අම්ම නැති සෝකෙන් හඬන මං
නළවන්ට ලොකු සාදු දන්නැති 





ප:ලි: - මේක ටික දවසකට කලින් ලිව්වත් පළකරන්න පුළුවන් උනේ අද. කිසිවෙකුට හෝ කිසිවකට /කිසිදු ආගමකට මඩගැසීම පිණිස නොව මෙය හුදෙක් සංකල්පනාවකි.

නිමන්තිකා.


Tuesday, May 5, 2015

මේ සියළු අව් අස්සේ මා පුංචි අම්මා කෙනෙක් වූයෙමි

       ඒ වර්ෂ 2015 ක් වූ බක් මස 28 වැනි අඟහරුවාදාය. දැඩි අසනීප සුවයෙන් පසුවූ නමුදු දිලා අමාරුවෙන් ඇඳ පැළඳ ගත්තේ අදවත් ඔපීසියට ගොස් වැඩ ටික හමාර කරගත යුතුය යන පරම පිවිතුරු උතුම් චේතනාව සහ හිතේ හයිය නිසාමය. නමුත් මගේ බොකුටු පොකුටු කොණ්ඩයේ රැළි හැර පීරන කල මොබයිලයා නොනවත්වා නාද වෙන්නට පටන් ගත්තේ දිලාගේ මුවට "චක්" යන ශබ්දය ද එක්කාසු කරමිනි. කව්ද යකෝ එපාර යනුවෙන් සිතමින් මොබයිලයාට ප්‍රතිචාර දෙන්නට වූයේ ගැහෙන දෙහෙන කම්මැලිකමිනි.

    ඉතාමත්ම භක්ත්‍යාදරයෙන් "හෙලෝ" යයි කියූ කල අනෙක් පසින් කලබල මධුර මනෝහර කටෝර වොයිස් එකකින් මෙසේ දෙසවනේ නින්නාද වුනි. "දිලා පුතේ අක්කට අමාරුයි ඇඩ්මිට් කලා ඉක්මනින් එන්න". ඒ අපේ ලොකුඅම්මා ය.

     කණ අයිනේ වෙඩි දහසක් පිපිරුණි. ඇයිද?කොහේද? කිසිවක් ඇසිමටවත් ඉඩක් නොලැබුණු අතර මට ක්‍රමයෙන් සියල්ල තේරුම් ගියේය. 
        
       අවසිහියක මහත.! 

     සුදු ඇත්පැටියෙකු නෙළුමක් සොඬින් ගෙන අප අක්කාගේ කුස වෙත සිහිනෙන් රිංගා තිබුනේ මීට නවමසකට පෙරය. වහා ක්‍රියාත්මක වූ දිලා පුරා හෝරා එකහමාරක් ඇතුළත ගම් නියම් ගම්  බලා ගමන් ගත වූයේ මහින්ද මාමිගේ අශ්චර්යයේ බල මහිමයෙන් ඉදිවූ අධිවේගී මාර්ගයෙනි.

    කොහොමින් කොහොමින් හෝ හොස්පිටිතාලය වෙත සේන්දු වූයේ දහවල් 12.50ටය. තුම්මුනින් දහඩිය පෙරාගෙන දිලා ලෝඩ් සේ ගේට්ටු පළුව තුලින් ඇතුළු වීමට දැරූ අසහාය උත්සාහය උපන්ගෙයිම ව්‍යර්ථ වූයේ හැඩි දැඩි සිකුරුටි කරුවෙකුගේ ග්‍රහණයෙනි.

      "කෝ පාස් .?" උන්දැගේ පැනය විය.

      "පාස් .?"

   මම අන්දුන් කුන්දුන් වුනෙමි. ලෝකයේ ලොකුම පුදුමය දුටු කල මෙන් මා සිටිනු දැක උන්දෑ තවත් ෆෝම් විය.

  "පාස් නැතිව කොහොමවත් යන්න දෙන්න බෑ. දන්නෙ නැත්ද මෙතන සිස්ටම් එක.? මොන ලෝකෙද ජිවත් වෙන්නෙ.? පාස් එකක් අරං එන්න නැතිනම් යන්න. ඔතන කොච්චර හිටියත් ඇතුලට යවන්නැ" 
   
     යනුවෙන් හතර අතේ ඔහුගේ පුචානම දොඩවන්නට විය. මගෙ රතුකට්ට "පරම තරහවේ කෝටියේ උපරිම සීමාවද" ඉක්මවා තිබුණි. මගේ ඇඟේ ලේ කෙමෙන් කෙමෙන් රත් වනු සහ කණ දෙපස තඩ් දඩ් යනුවෙන් ඇසෙනු මෙන්ම මුහුණේ මස්පිඬු දඟලන්නට විණි.

     කිසිම තෙතමනයක් නැති ඒ අසික්කිතයා තම නිළ ඇඳුමේ හයිය ගෙන මහා හඬින් එහි නාට්‍ය ඉදිරිපත් කරන අතර මගේ කට ළඟම නිල් කොටු කමිසයකින් සැරසී විරාජමාන වූයේ අන් කිසිවෙක්  නොව අපේ අක්කගේම පෙම්බර සැමියාය.

       අපේ අක්කගේ සැමියා නොහොත් මගේ මස්සිනා ලැමිනේට් කොරපු පටියක් දික් කර යාන්තම් දිලාව ගේට්ටුව ඇතුලට ඇද ගත්තේය. එසේ නොවන්නට දිලාගේ තරහව වචන වලින් පිට වූයේ නම් රෝහල් පොලිසියද ගේට්ටුව ගාව රැස් වනු නොඅනුමානය. ඈශ්චර්යමත් ආසියාවේ මගුල් අඹගෙඩිය ගැන සුපුරුදු පරිදි ඇතිවූ කම්පාවෙන් යුතුව මා ඉක්මන් ගමනින් පියමැන්නේ සුතිකාගාර වාට්ටු දෙසටය. ලෙඩුන් බලන වෙලාව අවසාන වීමට ළඟා වී තිබුනත් හති දමමින් අප ගොස් එක් ඇඳක් ළඟ නතර විනි.

     මගේ සිතේ සියළු දෝමනස්සයන් පහ වූයේ හිරු දුටු පිණිබිඳු වලටත් වඩා ඉක්මණිනි. ලොව ඇති දරුණුතම වේදනාව අභියස අසහාය සටනකින් අනතුරුව ලෝකයම දිනුවා සේ මගේ අක්කා කඳුළු අතරින් සිනාසෙමින් ඇඳ මත හාන්සි වී සිටියේ රෝසමලක් බඳු පුංචි පුතු පැටියෙක් ළමැදේ තියාගෙනය.

   ඔව් හිතවතුනි. දිලාගේ කට ඇරුණි. ඇස් ගැස්සුනි. හිනාවෙන්නද අඬන්නද කියාවත් නිනව්වක් නොවූ මම එහෙමම පහත් වී අක්කාගේ හිස සිඹගතිමි. නොනවත්වාම දෙනෙතින් ගලන සතුටු කඳුළු මැදින් මම පුංචි කිරිකැටියාවදෝතට අරගත් විට මට නැවතත් ඇසුනේ අසික්කිතම වොයිස් එකකින් 

 "ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි. ඇඳන් ළඟ වටවෙලා ඉන්න ඔක්කොමල්ල එලියට ගියොත් හොඳයි."

        ඉතිං මම ඉවසුවෙමි.අන් කිසිවක් නිසා නොවේ. ඒ පුංචි කුරුළු ඇස් දෙක ඇර මගේ දෙසම බලා ඉන්නා මලක් වැනි අපේ අක්කාගේ පණ නළමගේ දෑත මත වූ නිසාවෙන්මය.

    කමක් නැත. මේ ඉන්දියන් සාගරයේ ඇති අනර්ඝතම මුතුඇටයයි. එහි බබ්බුන් හැදීම සහ වැදීමටත් වඩා අපහසු කාර්යය වන්නේ උන් බැලීමය. දහසකුත් හැඟීම් හිත තුල තෙරපාගෙන නැවත එන අතරේත් මට යළි යලිත් මැවී පෙනුනේ මගේ අක්කාගේ කඳුළු අතරින් මතුවූ සිනාවත් කිරිකැටියාගේ මුවත් පමණක්මය. 

   ඉදින් මට දැන් ප්‍රමෝෂන් ලැබුණි.

   මේ සියළු අව් අස්සේ මා පුංචි අම්මා කෙනෙක් වූයේ එසේය.මේ සටහන තැබුයේ ඒ සොඳුරු මතකයට සැමරුමක් ලෙසිනි.රෝස දෙතොලක් හිමි මගේ පුංචි පුතේ මා නුඹේ මව නොවුනත් මා සදා නුඹට මෙළොව ආදරණියම පුංචි අම්මා වෙමි.

    නුඹ පුංචි පා පොඩිති තියා මගේ ආත්මයම හැඩ කරන දිනය වැඩි ඈතක නොවන බව නම් මම හොඳින්ම දනිමි. මම සැබවින්ම නුඹට ආදරය කරමි.
     


 
     

Wednesday, April 29, 2015

නුඹ නොවේ පළමු මල

නුහුරු කටු මත ඉපදුනේ නුඹ 
නපුරු බව දැනගෙන නොවේ 
සැලෙන නල කටු තුඩින් ඇනුනද 
නොහඬනා මල් කැකුළියේ 

විහඟ ගීයක සැදැහැ දෑතක 
නොගැටී පින්මද බොලදියේ 
කටුක දුක් කප්පරක් නුහුලන 
ගැහැනියක  දුටුවෙද ලොවේ 

සුළඟ ගෙන ආ සෙනෙහෙ පණිවිඩ 
බමරු වෙත ආපසු යවා 
උරණ හිරු හා පෙමින් බැඳුනද
ළපල්ලක මදහස පොවා 

රතුම රතු බිම පතිත පෙති මත 
කඳුළු බිඳු රැඳුනද මගේ 
කියමි කුමරිය මෙලෙස මියදුනු 
පළමු මල නම් නුඹ නොවේ........ 



Monday, January 5, 2015

ඕo වැඩේ... මමත් සම්මානයක් දිනලලු




          බ්ලොග් කලාව ගැන මෙලෝහසරක් නොදැන ඉඳපු මං මේ කලාවට පිවිසුනේ අහම්බෙන්. කරමින් ඉඳපු රැකියාවට සමුදීල පාළුව දුක දරන් තනියම දවස් ගෙවාගන්න බැරිව ලතවෙද්දී කෙනෙක් මට හරි අපූරු ලින්කුවක් එව්ව. ඒක අදටත් මම book mark කරගෙන ඉන්නව. ඒ වෙන මොකක්වත් නෙවෙයි "බස්සිගේ නවාතැන". ඉතිං බස්සියෝ ඔයාගේ නවාතැන මගෙ ජිවිතේට හුගක් සමීප උනා. ඒ වගේම ඒ හරහා තවත් බ්ලොග් හඳුනාගන්න ලැබුන. හුගක් දේවල් රසවින්ද, ඉගෙනගත්ත. ඔය අතරෙදි ඒ පුද්ගලය හරිම වැදගත් යෝජනාවක් කලා මට. ඔව් ඒ තමයි පොත් ඇතුලේ හැංගිලා තියෙන මගේ නිර්මාණ ටික කාටත් බලන්න පුළුවන් විදියට කරළියට ගෙන ඒම. ඒ තමයි මගේ නිර්මාණ වලට යම් වටිනාකමක් තියෙනව කියල දැකපු පළමු පුද්ගලයා. ඉතිං ඒ යෝජනාවේ ප්‍රතිපලයක් විදියට මම "දිලාගේ ලෝකය"කියල බ්ලොග්ගුවක් හදාගත්ත. කොහොමින් කොහොම හරි දිලාගේ ලෝකයට blog මිත්‍රයෙක් කියලා හා හා පුරා කියල ගොඩවැදුනේ අවන්හළේ "මහේෂ් රත්නායක". ඒ ඇවිත් දාපු කොමෙන්ටුව මට ලොකු සතුටක් උනා.. ඉන් පස්සෙ මාතලන් මාම ( ඔරවන්ට කාරි නැතුවා ) ප්‍රියා අයියා, වර්ණ ලියන දිනේෂ් උමගිලිය අයියා, කුරුටු ගෑ ගී පව්ර හුදකලා රස්තියාදුවේ සංචා, දේශා, ඉවාන්, සඳුමල්, සිංදු ඇනෝ  යන හැමෝම මට කොමෙන්ටු දමමින් දිරිමත් කලා. පටන් ගත්තු දවස් වල ඉඳන් මේ දක්වාම දිලාගේ ලෝකයට ගොඩවැදුණු "මහී" අයියට හුගක් ගරු කරනවා. ඒ වගේම මාතේ මාම මාතලන්ගේ සිංඩියට දිලාගේ ලෝකය ඇතුලත් කරන්න ඉඩ දීලා දුන්නේ සුළුපටු සහයෝගයක් නෙවි. මම දන්නව තවමත් මම ආධුනිකයි. නමුත් මගෙ කවි නිසදසකට මේ තරම් අගයක් දීපු ලංකා නිව්ස් වෙබ් අඩවියේ නෙළුම් යායේ සහෝදර හැමෝටමත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ සඳහා මගේ බ්ලොගය හඳුන්වල දීපු අජිත් ධර්ම අයියටත් බොහෝම තුති.

          මේක පුංචි දෙයක් උනත් මට මෙහෙම අවස්ථාවක් ලැබුන එක ගැන හරි අහිංසක සතුටක් හදවතේ තියෙනව. මේක මට හුගක් වටිනව. මේකෙ ප්‍රවීණයෝ අධුනිකයොන්ට නොමසුරුව අතහිත දීම පුදුම තරම් ශක්තියක්. ඉතිං මම ඉදිරියටත් ලියනව. අඩුපාඩු පෙන්වාදීම ඔබ හැමෝම සතු යුතුකමක්.. තව දෙයක්, මේ හැමදේම පිටුපස දිළිසෙන ඇස් දෙකක් ඉන්නවා.ඒ කෙනාට මගෙ මේ හැම ගෞරවයක්ම සතුටක්ම ලබාදෙන්න ඕන.

               අවසානයේදී කියන්න තියෙන්නෙ මාතලන් මාමේ, බස්සි අක්කේ ඔයාල බ්ලොග් කලාවට මට අත්පොත් තිබ්බ. ඒ වගේම මහි අයිය, ප්‍රියා අයිය, දිනේෂ් අයි, සංචා, අටම්පහුරෙ ඉඩ දීපු අටම් අයිය මේ හැමෝමත් මගෙ පිටුපසින් ඉඳන් මාව දිරිමත් කරපු මගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියොත් (බට්ටා ඇතුළු) දිලාගේ ලෝකයට ගොඩවැදුන ඔයාල හැමෝටමත් ජයෙන් ජයම වේවා!!   


Saturday, August 23, 2014

තරහව සහ ටිප් ස්විචය


ඔයාගෙ තරහවත්
හරියටම
අකුණු සැර වගේ..
පළාතක් දෙදරවන,ප්‍රචණ්ඩ
විනාසකාරී...

ඒ අබියස මගෙ
මුවත්


හරියටම
ටිප් ස්විචයක් වගේ
කාගෙ කාගෙත් යහපත
තකාම
පහතට නැඹුරු වන...






නිමන්තිකා


Monday, July 21, 2014

අoජු....

අoජු... 
    අදත් මං පාරදි බැකෝ එකක් දැක්කා.ඔයා මතකෙට අවේ නිතැතින්. අනේ ඉතිං ඒත් ඔයා කොහේ ඉන්නවද? මොනවා කරනවද? ඔයා හොඳින්ද ?මේ කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් මා ගාව නැති හැටි....
                                  මොනව උනත් අපේ අතීතෙ හරිම සුන්දරයි අංජු. ඔයා හුඟක් දැනුම් තේරුම් තිබුන කෙනෙක් උනාට ඒ කාලේ මම නං පුංචි බටු කෙල්ලෙක්. එකනේ ඔයා මට කට පුරා "බට්ටි" කියල කතා කලේ...
              අත්තම්මගේ තුරුලෙ හුරතලේටම හැදුන මට පුදුම සංයමේකින්, හිත නොරිදෙන්න දෙයක් තේරුම් කරන්න පුදුම හැකියාවක් ඔයාට තිබුන. අදටත් ජීවිතේට ඔයා කියලදීපු දේවල් මං පිළිපදිනව.

එත්.... 

      ජිවිතේට හමාගෙන ආපු හීන් හුළඟක් වගේ ආයෙමත් ඔයා හමාගෙනම ඈත් වෙලා ගියා. එදා ඔයා ගිය දවසේ ඉඳන් සතියක් යනතුරුත් මං සාංකාවට උණ ගැනිල බලාගත්තු අත බලාගෙන ඉන්නව කියල ඔයාට අපේ මාම  කිව්වම, සේරම වැඩ පැත්තකට දාල මාව බලන්න දුවන් එන්න තරම් ඔයා හුඟක් කාරුණික උනා. ඔයා ගාව මනුස්සකම කියන දේ අඩුවක් නැතුව තිබුන.
          මට මතකයි ඒ කාලේ ඔයා අපේ ගමේ තියෙන පස් කන්ඩි කපනකොට ඔයාගෙ බැකෝ එක දිහා මං පුදුම අසාවෙන් බලන් හිටිය. මං විතරක් නෙමෙයි, ගමේ පුංචි දරුවො ඔක්කොමල ඉස්කෝලෙ ගිහිං ඇවිත් බත් පත දිහාවත් නොබල දුවන් අවේ ඔයාගෙ වැඩබිමට. ඔයා ඒ හැමෝටම ආදරෙන් සැලකුව. ඒ උනාට බට්ටි නම් හිටියෙ ඔයාව අයිති කරගෙන. 

        ඒ දවස් වල "අංජු ත් මගේ... අංජු ගෙ බැකෝ ඒකත් මගේ..." කිය කියා අණසක පතුරවනකොට මං දිහා ඔයා ඇස් දෙක හීනි කරල බලල හිනාවෙලා ඔළුව අතගාල කියනව
"හොඳ දරුවෙක් වෙලා හොඳට ඉගෙනගන්න ඕන, හැමදාමත් ලස්සනම ලස්සන බට්ටියෙක් වගේ හොඳට හැදෙන්න ඕන" කියල.

     ඒ දවස් වල ඔයා හැමදාම මට පළතුරු ගෙනත් දෙනව කන්න කියල. වැඩබිමට එන්න එපා කියල අපේ මාම සත්තම දාද්දි මං බිම පෙරලිලා අඬනකොට අත්තම්ම කිව්වෙ 
"එක එක ජාතියේ පිරිමි ඉන්න තැන් වල කෙල්ලෝ එහෙම තියන්ඩ බෑ මයෙ රත්තරනෙ" කියල. 
        ඉතිං ඒ කාලෙ කිසිම බරපතලක් නොතේරුන මං කලේ හති වැටෙනකල් අඬපු එක .ඉතිං අත්තම්මට සිද්ද උනා මාවත් එක්කං වැඩබිමට එන්න.
                                                                  එදා දැනුන සතුටට ඔයා බැකෝ එකේ වැඩ කරන කිට්ටුවටම මං දුවගෙන ගියා. ඔයා පුදුම වෙලා ඉක්මනින් බැකෝ එක නතර නොකල නම් බට්ටිට දරුණු අනතුරක් වෙන්නත් තිබුන. එදා අපේ මාමා මට දෙන්න සැදී පැහැදී ඉඳපු ගුටි පුජාවෙන් මාව බේරුනේ ඔයා දුවල ඇවිත් මාව වඩාගෙන පැත්තකට ගිය නිසා.. එත් ඒ වෙලාවේ ඔයාගේ අත් දෙක හොඳටම ගැහුන කියල නම් මට හොඳට මතකයි. 

    එදා ඉඳන් ඔයා මාව බැකෝ එක ඇතුලෙන් තියං වැඩ කරන්න පටන් ගත්ත. අපහසු උනත් ඔයා මුකුත් කිව්වෙ නෑ. ඒ වෙද්දී හවස කිරි එක හදාගෙන ලේන්සුවකින් ඔතාගෙන වැඩබිමට අරං එන තත්වෙට අත්තම්මට හැඩගැහෙන්න සිද්ද වෙලා තිබුන. ගිනි කාෂ්ටක අව්වේ ඔයා වැඩ කරද්දි ඔයා ලඟට වෙලා බලං ඉද්දි දන්නෙම නැතුව මට නින්දත් යනව. ඒ වෙලාවට ඔයා වැඩ ටිකකට නතර කරල බොහොම ආදරෙන් මාව ගෙදර ඇරලනව.
                                                   
     ඉතිං ඔහොම ගලාගෙන ගියපු සුන්දර දවස් වලට තිත තියපු නපුරු දවසක් ආව.ඔයාලගෙ ගිවිසුම් කාලය ඉවර වෙලා තිබුන. එදා බට්ටි ට ඉස්කෝලෙ නිවාඩු දවසක් ඔයාල යද්දී අපේ ගම හුගක් ලස්සන වෙලා දියුණු වෙලා තිබුන. ඔයා ගමේ හුගක් ගෙවල් වලට ගිහිං කථා බහ කලා. ඒ හැම තැනම ඔයාගේ අතේ එල්ලිලා බට්ටිත් ගියා. ඔයා මුලින්ම ආව වගේම යද්දි අන්තිමට බට්ටිගේ ගෙදරට ආව. ඔයා අපෙන් වෙන් වෙලා යද්දී 
"අනේ අංජු යන්න එපා............!" කියල මං ඔයාගෙ අතේ එල්ලුනේ මුණ පුරාවට උණු කඳුළු ඉහිරෙද්දි. ඒ වෙලාවෙ ඔයාගෙ ඇස් දෙකත් රතුවෙලා තිබුන.


         එදත් ඔයා මගේ ඔළුව අතගාල "මතකනේ... හොඳම හොඳ ලස්සන බට්ටියෙක් වෙන්න ඕනෙ. ලස්සනට ආඩම්බරෙන් ඉන්න ඕනෙ. අඳුනන්නේ නැති පිරිමි අය ළඟට යන්න එපා. බුදුසරණයි බට්ටි!" කියල කිව්ව.


        එහෙම කියල අපේ අත්තම්මටත් වැඳලා බැකෝ එකේ නැගල යන්න ගියා.බට්ටි කෑ ගහල ඇඬුවා. අත්තම්මත්  ඇඬුවා. ආයෙ අසනීපවෙලා ඉද්දි ඔයා මාව බලන්න ඇවිත් යනකොට කිව්වෙ 
       "පුළුවන් උනොත් ආයෙ ඉක්මනටම එන්නම් බට්ටියො පරිස්සමින් ඉන්නකො" කියල. 
             
             ඒත් ඔයා ආවෙ නෑ...

          "නුවර ඉඳන් ගාල්ලෙ එන එක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයිනෙ" කියල අත්තම්ම කිව්වා.. සමහරවිට ඔයාට එන්න පුළුවන්කම තිබුණත් ඔයා හිතාමතාම ඒක මගහරින්න ඇති. මං ආයෙම අසනීප වෙයි කියන බයට.
            
              දින, සති, මාස, අවරුදු ගණන් ගෙවිලා ගියා. අදටත් මම මාමගෙන් ඔයා ගැන විස්තර ඇහුවොත් එයා දෙන උත්තරේ 
 "දන්නෙ නැහැ දරුවො".
  ඒ වුනත් එදා ඉඳල මං ආසම වාහනේ උනේ බැකෝ එක (මං කෙල්ලෙක් උනත්) අදටත් කොහේ හරි බැකෝ එකක් දැක්කොත් මං ඒ දිහා බලාගෙන ඉන්නව.
           දැන් බට්ටිත් ඔයා දැක්කට වඩා වෙනස් වෙලා. එත් ඔයා දැකපු පුංචි බටු කෙල්ල අදටත් මගේ ආත්මය ඇතුලේ ඉන්නව. මං "දිළිසෙන ඇස්" එක්කල කිව්ව

 "ඔයා කවදාහරි ලොකු උනාම කාර් එකක් ගන්න එපා, බැකෝ එකක් ගන්න" කියල.

 එයා එයාගෙ ඇස්  දෙක නළලට අරං "හපොයි "කිව්ව.

"ඇයි ඒ ?" කියල ඇහුවම මං මේ කතාව එයාට කිව්ව.
                                                             
         "දිළිසෙන ඇස් " නිතරම කියන්නෙ මේක පුංචි රටක් නිසා අපිට අංජු ව මුණගැහේවි කියල. එත් දැන් දශයකටත් එහා ගිහිං මයෙ හිතේ.. කමක් නෑ අංජු ඔයා ගැන හරි උතුම් විදියට, ඒ ලස්සන දවස් ගැන හරිම ලස්සන චිත්‍රයක් විදියට මගේ හිතේ ගැඹුරෙම තැන්පත් වෙලා තියෙනව.ඉතිං ඒ මතකය ඇතුලෙ අදටත් මට කියවෙන්නෙ...

 "අංජු ත් මගේ අංජු ගෙ බැකෝ එකත් මගේ......"


නිමන්තිකා ..

Tuesday, July 15, 2014

FM අන්දරය


ඉතිං  "දිළිසෙන ඇස් " ..ඔයයි මමයි වැස්සයි හුගක් ලඟයි නොවැ . වැස්ස එක්ක අපේ තියෙන තවත් සොඳුරු මතක වලින් එකක් තමයි මේ..
                                  මේකයි කතාව.දවසක් මම "දිළිසෙන ඇස්" එක්ක හවස 6.30 ට විතර 120 කැස්බෑව පිටකොටුව බස් එකක හිටගෙන එනව ජොබට ගිහින්..අවට හොඳටම වැස්ස, නිකං නෙවේ අකුණු ගහනව,ගොරවනව එක යුද්දයයි.මං ඉතිං වැස්ස යටදි කොයි තරම් පිස්සු නැටුවත් අකුණු වලට බයයි නොවැ .
ඉතිං මං දිළිසෙන ඇස් ලගට කිට්ටුවෙලා ඇහුව "අපි බස් එකේ යද්දි අපිට අකුණු වදින්නෙ නැද්ද?"
ඉතිං දිළිසෙන ඇස් එයා දන්න ශිල්ප ඔක්කොම දමල මට ඒ ගැන විස්තර විචාරයක් දෙනව.ඔය අතරෙදි FM නාලිකාවේ නිවේදනය වුනා ලස්සන ළයාන්විත කටහඬකින් මෙන්න මෙහෙම දෙයක් ,""වැස්ස වෙලාවට මං මගේ boy friend එක්ක කතා කර කර  බස් එකේ යන්න හරිම අසයි... "  මමයි "දිළිසෙන ඇස්" යි මුනට මූන බලා ගත්ත.ඒ 
සැනෙන්ම අපිට තේරුනා මහ අමුත්තක්.එතකොටම අර නිවේදිකාව කියපි , අපි දැන් "...."(FM නාලිකාවේ නම)අහගෙන යනගමන් ඉන්නෙ .දැන් වටේටම හොඳටම වහිනව.බස් එකේ මාර්ග අංකය ,බස් රථය ලියාපදිංචි අංකය වගේම කොන්දොස්තර ,ඩ්‍රයිවර් මල්ලිලා ඇඳල ඉන්න T Shirt වලත් පාට කියපි.
ඉතිං අපිට දැනුන අමුත්ත ගැන අයෙ ඔයාලට සැකයක් නෑනේ..ඒ වෙලාවෙ විස්තර විචාරයට අදාල වන ගනයට අයත් උනේ දිළිසෙන ඇසුත් මමත් විතරයි.(තව අයියෙකුයි අක්ක කෙනෙකුයි හිටිය ඒ  දෙන්නත් හොදටම දොයි )
                                   බස් එකේ ඉඳපු කස්ටියගෙන් "ටියුබ් ලයිට්" නොවුන ටික දෙනෙක් හැරෙන්න අනිත්  හැමෝම වගේ අපේ  දිහා අමුතුවට බලල හිනාවක් දාද්දි මට නං වැස්සෙම හීන් දාඩියකුත් දැම්ම.
ඒ  එස් .එම් .එස්. එක  අර   FM නාලිකාවට කව්රු යැව්වද කියන එක අදටත් අපිට රහසක් උනාට ඒක අපේ ආදර අන්දරයට තවත් රසබර මතකයක් එක් කල බව නම් ඉතිං කියන්නම ඕනි.එදා "අයියෝ සල්ලි "කියල දිළිසෙන ඇස් ගෙ කටින් පිට වුනත් අදත් ඒ ගැන මතක් කරද්දි එයාගෙ දිළිසෙන ඇස් තවත් දිළිසෙන බවත් 
කියන්න ඕනි.  

Saturday, July 12, 2014

වැස්ස ,මම සහ ඔබ .....





පළාතම අඳුරු කරගෙන ,ගස්වැල් අඹරවාගෙන ලොකුම ලොකු කුණාටු පරිසරයක් එක්ක නා කපන වැස්සක් ඇදහැලෙනව.මං දන්නව වහින වෙලාවට ඔයා ලෝකේ කොයි කෙලවරේ උන්නත් ඔයාගෙ හිත මං ගාවට දුවන් එනව කියල .ඒ තරමටම ඔයයි මමයි වැස්සයි හරිම ලඟයි .

වහින වෙලාවට මගේ හිතට පිහාටු ලැබෙනව.ඈතට ඈතට ඉගිලිලා යන්න තරම් සැහැල්ලු වෙනවා .වැස්සේ තෙමි තෙමි දඟ කරන එක පුන්චිකාලෙ ඉඳලම මට තිබුන පුරුද්දක්...එත් ඉතිං ඔයා බයයිනෙ මං තෙමිල ලෙඩ හදාගන්නව කියල.ඉතිං ඔයාගෙ උනාට පස්සෙ වහින වෙලාවට එලියට පැනල එක ඕසෙට තෙමෙන්න හිතුනත්,ඔයාට call  1ක් හරි පුංචි  sms 1ක් හරි දීල ඒ ගැන අහල ඔයාව කලබල කරන තරමට මං බොළඳ වෙනව.මගේ හැටි දන්න නිසාම ඔයත් හරිම ආදරෙන් එව ඉවසනව.
                           වැස්සයි ඔයයි මමයි එක්ක තියෙන මතකයන් නම් හුගක් තියෙනව.දවසක් නිදහසේ සැරිසරන්න කියල ඉදි වෙලා තියෙන ප්‍රසිද්ධ ස්ථානයක වාඩි  වෙලා අහස දිහා බලන් ඔහේ කියව කියව ඉද්දි එකපාරටම වැස්සක් කඩන් වැටුන . එදා නම් ඔයාටවත් මාව නතර කරන්න පුළුවන් උනේ නෑ.
දෙනෝදාහක් මැද්දෙ  ලෝකෙම දිනුව වගේ මං උඩ පැනල කෑ ගගහ දැඟලුව.ඔයා මාව නතර කරන්න කොයි තරම් උත්සහ කලත් අන්තිමේ ඔයාම හති වැටිල බොරුවට තරහ මුණක් මවන් මා දිහා බලං හිටිය.එත් ඔය දිළිසෙන ඇස් අස්සෙ ලොකූ ආදරයක් ඒ වෙලාවෙත් තිබුන..

                       තවත් දවසක campus එකේදී වැස්ස වැටෙනකොට ඔයා මාවත් ඇදන් බුදු පිලිමෙ ලඟම තිබුන ටකරන් මඩුවට දුවල ගියත් ඈත වැහි බින්දු වැටෙන හැටි දැකල හිත සලිත වුන නිසාවෙන්ම ඔයාවත් අතඇරල බෑග් එකයි කුඩෙයිත් බිම දාල මං එලියට පැනල උඩ බලාගෙන තෙමුන.එදා ඒ හට් එක ඇතුලෙ ඉඳපු අනිත් ළමයි ලෝකේ අටවෙනි පුදුමේ දිහා බලනව වගේ බලන් ඉද්දි ඔයා කොයි තරම් නං අසරණ වෙන්න ඇතිද කියල දැන් තමයි මට තේරෙන්නෙ.අන්තිමට මගේ බෑග් එකයි කුඩෙයි අරගෙන මාවත් ඇදගෙන ගිහින්, සාක්කුවෙන් ලේන්සුවක් ඇදල අරං ඔළුව පිහිදල ,හොඳ සත්තමකුත් දැම්ම .කෝම හරි එදා තෙමිල මට හෙම්බත් හැදුන.
                                               ඇයි ඉතිං‍ අව්වට කුඩේ ඉහලන්නත් කම්මැළි මම වැස්ස වෙලාවට බොහොම කැමැත්තෙන් කුඩේ අතට ගන්නෙ ඔයවයි මාවයි දෙන්නම තෙමෙන්න කියල ඔයා නොදන්නවා නෙවෙයි නේ ...ඇයි දවසක් හයියෙන් වහින වෙලාවක බස් එකේ අපි එනකොට වෙච්ච සිදුවීම .(ඒ ගැන වැඩි විස්තර වෙනම ලියන්න ඕනි )ඇයි ඔයා ගෙදර ගියපු දවසක හොදටම හවස් වෙලා ගොරව ගොරව වහිද්දි මං පාරෙදි  අඬ
අඬ ඔයාට call කරපු දවස....එදා නම් උණ ගැනුනේ ඔයාට . මොකද වැස්ස යට කොයි තරම් පිස්සුවෙන් දඟ කරත් අකුණු වලට ගොරවනවට මම කොයිතරම් බයද කියලත් ඔයා දන්නවනෙ.
                          ඒ නිසා වහින හැම මොහොතකම , මං වැස්ස යට දඟ කරයිද ,ගොරවනවට බය වෙයිද ,ඒ මුකුත් නැත්නම් මගේ කවි සිතුවිල්ලක් ලෝකයට   නිදහස් වෙයිද කියල ඔයාගෙ හිත මං ගැන කළබල වෙන බව නම් මං  දන්නව.
                                ඉතිං "දිළිසෙන ඇස් "වැස්සයි මමයි ඔයයි හුගක් ලඟයි ඒක හැමදාමත් එහෙම වෙයි ...

(පොස්ට් එක දිග වැඩිද මන්දා...එත් පුළුවන් උපරිම කෙටියෙන් තමයි ලිව්වෙ.)
                                 නිමන්තිකා 

Tuesday, July 1, 2014

" දිළිසෙන ඇස්" ඔයාට සුභ උපන්දිනයක් !!!

ඉතින් "දිළිසෙන ඇස්"... 
 අදින් අවරුදු විසිහතරකට කලින් පිණි වැටෙන සීතල හිමිදිරියක අම්ම කෙනෙක් විඳින දරුණුම 
වේදනාව විඳලා මහා සටනකින් පස්සෙ මේ ලෝකෙට පුංචි පිංවන්ත පැටියෙක් තැගි කරල හුගක් සන්තෝසෙන් හිනාවෙන්න ඇති. ඒ පුංචි පැටියත් එයාගෙ දිළිසෙන පුංචි ඇස් කරකවල මේ ලෝකෙ 
දිහා බලා ඉන්න ඇති .ඒ සිදුවීම හුගාක් ලස්සන හීනයක් විදියට ඒ අම්මගෙ හදවතේ ගැඹුරුම තැනක 
තැන්පත් වෙලා තියෙනව කියල නම් මට විස්වාසයි..
                                                                                  ඉතින් එදා ඒ අම්ම මේ ලෝකෙට හුගාක් ආදරෙන් 
 තෑගි කරපු පුංචි පැටිය අද උස් මහත් වෙලා ,තවත් කෙනෙකුට එයාගෙ ලෝකෙම වෙලා...
මොනව උනත් "දිළිසෙන ඇස් ", ඔයාගෙ ඔය ඇස් දෙකෙන් ජීවිතේකට ජීවත් වෙන්න පාර කියනවා.

ඉතින් "දිළිසෙන ඇස් "...
    මට කියන්න දේවල් හුගක් තියෙනව 
     ඒ ඔයා මගේ නිසා ...
   ඒත් මට කියාගන්න බෑ                                             
     ඒ  ඔයා මගේ නිසා ...
   ඔබ වෙනුවෙන් 
     නෙතට උනන කඳුළ තමයි 
   අද දවසේ දෙන්න තියෙන 
      හොඳම තෑග්ග 
එහෙනම් දිළිසෙන ඇස් 
ඔයාට සුභම සුභ උපන්දිනයක් ...!

මං මේ ලෝකෙ ගතකරන අන්තිම තත්පරය දක්වාම මට ඔය ඇස් දෙකේ දිස්නය විඳගන්න ලැබෙන්න 
කියන එක තමයි මගේ සුන්දරම ප්‍රාර්ථනය !
හුගක්ම ආදරෙන් පලකරන මේ post එක ඔයාට තවත් සුන්දර සිහිවටනයක් වේවි..





               නිමන්තිකා 



Tuesday, June 17, 2014

විරසක සිත

මං මුරන්ඩුලු - හිත රිද්දුවලු 
නුඹ කලත් මට චෝදනා 
නුඹත් නපුරුනෙ - මා ඇඬේව්වනෙ 
විඳියි මගෙ සිත වේදනා

බොරු කිව්වලු - රැවටුවාලු
වැරදි මා හට කිය කියා 
අවිස්වාසලු - දුරින් ඉන්නලු  
සමාවක් නම් නැහැ කියා 

කඳුළු පෙරනව - පපුව රිදෙනව 
සිත සොයන්නේ ඔබ නිසා
ආයෙ නාවත් - දුරක ඇදුනත් 
දිළිසි දෙනයන මගෙ තමා 

කොහොම බැන්නත් - මොනව කිව්වත් 
මං නුඹට ආදරෙ නිසා 
අහස පොළවත් නුහුලනා මේ 
කතා නොකියා ඉමු බබා


නිමන්තිකා 

ප.ලි .මේ හොදටෝම හිත රිදුනු වෙලාවක කඳුළු අතරින් හිතට ආපු කවි සිතිවිල්ලක් ..අඩුපාඩු ඇතොත් පෙන්වාදෙන්න.

Thursday, June 12, 2014

Light house

මේක නම් මගේ පුංචි සංදියේ රසබර මතක වලින් එකක් ...
මං ඉතින් බහ තෝරන වයසෙ ඉඳලම ඇති දැඩි උනේ අත්තම්මා එක්කලනේ ..ඉතිං මම රෑට බත් කනවා හරිම හොරයිලු .දවසක් මගේ මාම මේකට හොඳ විසඳුමක් හොයාගෙන .ඒ තමයි ''LIGHT HOUSE''.

     ඒ කියන්නේ හිස් ජෑම් බෝතලයකට කනා මැදිරියෝ කීපදෙනෙක්  අල්ලලා දමලා, සිදුරු 
විදපු කඩදාසියකින් බෝතලේ කට වහලා , ගෙදර සාලෙ light off කරල මට පෙන්නන එක.


ඉතිං මං   LIGHT HOUSE'' 1 දිහා බලන් ඉද්දි අත්තම්මා මට කවනවලු.දන්නෙම නැතුව මං ඔක්කොම බත් ටික කනවලු .අද අත්තම්මා මගේ ළඟ නැතත් ,අදටත් රෑට කනාමැදිරියෙක් දකින හැම වෙලාවකම මාව උස් මහත් කරන්න අත්තම්මයි මාමයි විඳපු දුක ,ඒ අහිංසක උත්සාහය මතක් වෙලා ඇස් තෙත් වෙන්නෙ මටත් නොදැනිම.





නිමන්තිකා 

Thursday, June 5, 2014

ඇදුරු පිදුම


ආදරණිය ගුරු පියාණනි...........,


එකිනෙකා පරයා නැගී හිඳින්නට කුළල් කා ගන්නා රළු බිමක, නිවැරදි මග පෙන්වන්න ඔබ නොගන්නා උත්සාහයක් නැති තරම්. හීන ගොන්නක් තුරුළු කරගෙන, මග හසරක්  හරිහැටි  නොදැන , ඔබ පා  සෙවණට අපි  ඇදුනේ පෙර  පිනකින් බව  නම්  ඇත්තයි...
                අපේ දිවිය ඒකාලෝක කරන්න, අපේ හීන වලට අපටත් වඩා පෙම් බැන්දේ ඔබ. ඉදින් ඒ වෙනුවෙන් දෙවසරකුත් අඩක් පුරාවට ඔබ කලා වූ මෙහෙය නම් අපූර්වයි.....
                 සත්තමයි අප්පච්චි, ඔබ ගුරුගීතයේ එන දුයිශෙයින්ටත් වඩා අනගිභවනීයයි.. අපේ හීන විතරක් නෙවෙයි හදවතේ සියුම් බල නහර පවා පණ  ගැන්වෙන මානුෂීය හැගීම්, ගුණදහම් ඔප් නංවල මානුෂීය දරුවන් රැසක් දායාද කරන්නට ඔය හදවතේම තියෙන පෝෂක කළාප ලෝබ නෙතිව දියකරලා හැරියා...
   ඉදින් ........ 
        ඔබ අතු ගංගාවක්  නම්, ඔබෙන් දියවර ලද දහසකුත් අතු ගංගාවන් මතු යම් දිනක සොඳුරු මානුෂීය ගුණයන්ගෙන් යුක්තව, මේ මව්බිම දෝවනය කරන බව සදාතනයි, සත්තයි.....
        විෂය කරුණු මෙන්ම පිතු සෙනෙහෙත් නිර්ලෝභීව දයද  කොට දිවියේ යතාර්ථය විනිවිද දකින්නට නැණස පෑදු දයාබර ගුරුපියණනි අප ඔබට සදා ණයගැතියි........ 



nimanthika...