Friday, November 28, 2014

ෆිල් හියුස්

බොඳව ගිය තිතක්ව 
මහත් මීදුමක් තුළ 
තණ නිල්ල බැලූ බැලූ අත පෙනෙයි 
ලං වෙන්න බැරි උනත්
සිත පිනෙයි... 

නිහඬ කුටියක් ලෙසට 
නුහුරු නුපුරුදු කමක් 
සීරුවට පිත්ත වට ගැට ගැසෙයි 
රිදී දැල්ලක් වගේ 
යළි මැවෙයි...අවදි වෙයි...

ශෝක ගී තෙත නුවන් 
ඇසෙන නෑසෙන වදන්  
හැම අතම කඩිමුඩියෙ ඇස ගැටෙයි 
නොතැවෙන්න යලි සුහද,... වැළපෙන්නේ කුමකටද?
පන්දුවෙහි මිස වරද නුඹේ නොවෙයි.... 



Wednesday, November 19, 2014

ලණු කොස්ස..

මේ අපේ මනුවා සම්බන්ධ  තවත් රසකතාවක්..
අපේ සෙට් එකේ ඉන්නවා වැඩිය උසත් නැති මහතත් නැති කොල්ලෙක් (බටු වර්ගයේ ) ... හැබැයි ඉතිං මේකගෙ වැඩ නම් සුපිරියි කොටින්ම ඉලෙක්ට්‍රොනික් බට්ටෙක්..(බට්ට ගැන කතාවක් පස්සෙ ලියන්නම් )
ඉතින් අපේ බට්ටගේ අප්පච්චි ඇවිල්ලා දක්‍ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක්...



නිවාඩු දවසට, පුළු පුළුවන් වෙලාවට අපේ මිත්‍රයො "බට්ට ඩඩා" ට උපරිම සහයෝගයක් දෙනව.

දවසක්  අපේ බට්ට ඩඩා අපේම මිත්‍රයෙක්ගේ ගෙදරක වැඩක් කරන කොට 
අත් උදව්වට අපේ මනුවා ඇතුලු පිරිස සහභාගී උනාලු. 
අපේ සැට් එක ඉන්න තැනක ඉතිං පාළුවක් හතර මායිමක ඇත්තෙ නැත්තෙ මෙයාල විහිළු වලට උපන් හපන්නු ටිකක් නිසාවෙන්මයි..

 ඕන් ඉතිං එදත් කස්ටිය කෙනෙකුට බයිටක් දෙන ගමන්, කඩියෝ වගේ එහෙ මෙහ දුවගෙන ගජරාමෙට වැඩලු ..ඔහොම වැඩේ නැගල යන අතරෙ, වැඩ තද වෙලා ඉඳපු බට්ට ඩඩා මනුවට කිව්වලු 


"ලණු කොස්සක්  ගෙනෙන් පුතේ " 

මනුවට කියන දේවල් ඇහෙන්නේ අමුතුවට කියල මං කලිනුත් කියල ඇතිනේ..

ඉතිං මේකත්
 "හං" 
කියල දඩ බඩේ දුවල ගියාලු..ගිහිං මේකා ඒ ගේ වටේ දිව්වලු,මිදුලෙ වටයක් කරකුනාලු, 
ආයෙම කුස්සියටත් ඔළුව දමල බැලුවලු...පස්සෙ කඩාගෙන බිඳගෙන දුවන් ගියාලු.
ඕක නෝට් කරන් ඉඳපු බට්ට ඇතුළු අපේ සෙට් එක අන්දුන් කුන්දුන් වෙලා බලං හිටියලු..

ඒ වෙද්දි මනුවගේ පරක්කුව ගැන විපරම් කරපු බට්ට ඩඩා..., 

"කෝ මේ කොළුව?"

 කියාගෙන එතනට ආවලු.
මනුව දැකපු බට්ට ඩඩාගෙ ඇස් ලොකු වෙලා හිනාවක් දාන ගමන් මෙන්න මෙහෙම කිව්වලු,,,

"ඈ පුතේ..,   ඕකෙන් කොහොමෙයි බං කපරාරුවට දිය ඉහින්නේ????? "

වැඩේ මීටර් උන අපේ සැට් එක තක් බිර් වෙලා බලං ඉඳපු මනුව දිහා බලල එදා  බඩවල් අල්ලගෙන ඉල ඇදෙනකල් හිනා උනාලු.

ඇයි ඉතිං ලණුකොස්සයි උළුවස්සයි පටලෝගත්ත  අපේ මනුවා මතු වෙලා තිබුනෙ බාගෙට හදාපු උළුවස්සක් කරතියන් නොවැ.

ප.ලි . :- ("ලණු කොස්ස" යනු කපරාරුවට දිය ඉසීම සඳහා ලණු මිටියක් එක් කොට සදා ගන්නා උපකරණයකි) 

නිමන්තිකා 

Sunday, November 2, 2014

නූඹේ ළඟ

සඳ දියෙන් රළු පොළව 
සිප වැළඳී වෙලාවක 
නෙතු පියන් පන්හිඳෙන් 
වෙලෙමි මා නූඹේ ළඟ 

තරු දෙනෙත් බොර දියෙන් 
හේදෙනා  සැදෑවක 
මුතු කඳුළු තියා මම 
හැඬුවෙමිය නූඹේ ළඟ 

ප්‍රිය වදන් මුදු තෙපුල් 
මගෙ ලඟින් කියාලන 
නුඹ දකින තුරු නෙතට 
සැනසුමක් නෑ හිතට 

හිටිගමන් මදහසින්
මා දෙනෙත් නිවාලන 
නුඹේ සුසුම් ළය මතින් 
ආදරෙන් තබනු මැන 

වැසි වැටී තෙතබරින් 
හදවතම තෙමාලන 
හඬ හඬා නූඹේ ළඟ 
හිඳිමත් සැපකි මට 

දුක් තැවුල් සිත් රිදුම් 
නැවතුමක් තබාලන 
තුරුළු වෙමි සෙනෙහසින් 
හාදුවක් තියා මම  



                                            -නිමන්තිකා -