Sunday, June 29, 2014

;)


වෙහෙස වුවමුත් ජයක් ලැබුමට 
නොමැත පිං කර ඒ තරම් 
නුඹව සිහිවෙන හැම නිමේෂෙම 
කඳුළ ඒකද මේ තරම් 

ඉහිර ගිය කිරකට හැඬුව මුත් 
ලැබුනු සේ සැනසුම් සුසුම් 
අමතකව නැති අතීතය ගැන 
මටම පමණද මේ රිදුම් 

ආදරය වරදක්ව ගියදින 
සිහින සැම වියැකී ගිහින් 
යලිදු වරදක් වෙන්න නොමදී 
හිඳින්නම් සැමදා ළඟින් 

ගෙවී අහවර අතීතය මතු
අමතකව ගියදෙන් හදෙන් 
සිනාසෙන්නට හැකිද නුඹහට 
එක වරක්වත් මා නමින්?? 

නිමන්තිකා 

ඇයි ඔබ මගෙ හිත අරගත්තේ??

 සඳ එලිය බිමට බැස කියන කතාවට 
මට නම් නිහඬව ඉන්න බැරී 
මිහිතලය වැළඳගෙන වියන රටාවට
ඔබ ආ යුතුමයි කොහොම හරී...

මල් පිපිලා මරුතයත් සුවඳයි 
පිනි හැලිලා මල් පෙති මත්තේ 
ආදරයේ රස රහස් කියනවා 
ඔබ විතරයි මගෙ ළඟ නැත්තේ 

විකසිත වන්නට පෙරුම් පිරූ මුත් 
මල් යුවලක් සේ එක ඉත්තේ 
දෙතැනක පිබිදී දෙඅතක යන්නට 
ඇයි ඔබ මගෙ හිත අරගත්තේ....


නිමන්තිකා 

Thursday, June 26, 2014

මගේ සීනය

වැට කඩොලු බිඳී නැති කඩුපුලක  සුවඳක් වෙලා 
ඉඳි කඩුල්ලෙනුත් පැන මා සොයා එන තුරා 
හඬ හඬා ඉකි බිඳින පාළු තුන් සිත පුරා 
නූඹේ සුවඳ වපුරමී ජීවිතේ ඇති තුරා 


සිහිනයක දැවටෙමින් සිහින මල් පිබිදුනි 
තෙපලු මුදු වදනකින් මගේ සිත ගොළු වුනී 
ජීවිතේ ළඟ මගේ නූඹේ හඬ රැව් දුනී 
සුදු කඩුපුලක් පිපී සිහිවටනයක් උනී 


නිමන්තිකා

මගෙ ලොවින් මිදුනු හැටි

මං කරපු දඟ වැඩට
තවත් දඟ වැඩ දෙමින්
 හොදම මිතුරා ලෙසට 
මගෙ ලගින් ඉඳපු හැටි...

මං යනෙන හැම තැනම 
සොයාබලමින් සෙමින් 
සොහොයුරෙක් විලසටම 
පසුපසින් පැමිණි හැටි...

නෙත් කෙවෙනි අද්දරට 
කඳුළු කිතිකවන විට 
අප්පච්චි තරමටම 
මගෙ ලඟින් උන්නු හැටි...

ජීවිතේ ගීතයට 
පදවැලක් සොයන විට 
මටත් නොකියම හොරෙන් 
මගෙ ලොවින් මිදුනු හැටි... 



නිමන්තිකා 

Tuesday, June 17, 2014

විරසක සිත

මං මුරන්ඩුලු - හිත රිද්දුවලු 
නුඹ කලත් මට චෝදනා 
නුඹත් නපුරුනෙ - මා ඇඬේව්වනෙ 
විඳියි මගෙ සිත වේදනා

බොරු කිව්වලු - රැවටුවාලු
වැරදි මා හට කිය කියා 
අවිස්වාසලු - දුරින් ඉන්නලු  
සමාවක් නම් නැහැ කියා 

කඳුළු පෙරනව - පපුව රිදෙනව 
සිත සොයන්නේ ඔබ නිසා
ආයෙ නාවත් - දුරක ඇදුනත් 
දිළිසි දෙනයන මගෙ තමා 

කොහොම බැන්නත් - මොනව කිව්වත් 
මං නුඹට ආදරෙ නිසා 
අහස පොළවත් නුහුලනා මේ 
කතා නොකියා ඉමු බබා


නිමන්තිකා 

ප.ලි .මේ හොදටෝම හිත රිදුනු වෙලාවක කඳුළු අතරින් හිතට ආපු කවි සිතිවිල්ලක් ..අඩුපාඩු ඇතොත් පෙන්වාදෙන්න.

මතක සුවඳක්

පුන් සඳ නැගෙන දිනකදී දොර ලඟට        වෙලා 
හිටියා නොවෙද මම ඔබ හට තුරුළු          වෙලා 
අද තනි වෙලා නෑ කව්රුත් සෙනෙහෙ      වෙලා 
තෙමෙනව දෙනෙත් ඔබෙ සුවඳක් මහද    වෙලා 

කෙලෙසද   කියන්නේ ඔබ අද නැහැ        කියලා 
ඇහෙනවා   වගේ දැනෙනව හඬ කන්         පුරලා 
මගේ බුදු අම්මෙ එදවස මෙන් පාර               බලා 
ඉන්නකො කඩුල්ලේ මම එන්නම්             දුවලා 

මා හට නොනිමි සෙනෙහස පුදකර             දීලා 
ඔබ හිනැහුනා නෙතු කඳුළැලි                පිසදාලා 
කාලය ගෙවී ලෝදම් ළඟ පරල                 වෙලා 
ඔබ නික්මුනා ඔබෙ හුරතලි                  හැරදාලා 


නිමන්තිකා 

Monday, June 16, 2014

නුඹට නොකී කවිය

ලං වෙන්ට වරම් නෑ 
අපට අප එක්  වෙලා 
නෙත් පියන් ඉන්න මම 
ඔබේ සිහිනය වෙලා 
නෙතු පියන යාමයට 
එන්න ඉන්නේ බලා 
නුඹත් මට ලං වෙයන් 
හීනයක් වත් වෙලා...........!


නිමන්තිකා 

Saturday, June 14, 2014

නුඹේ මතකය

පාළුව පිරුණු හැන්දෑවකඇටඹ       ගහේ 
උලමා කෑගසනු කුටියට හොඳට      ඇහේ 
පිටගං යන්න යනවලු උඹ ලබන       මහේ 
ඇසුයෙමි පුවත කඳුළක් ඇහැ බිමට   ඉහේ

නුඹ රුව නිතර මා දෙනුවන් අතර         එතී 
කොහොමද මකාලන්නේ මට පුදුම       හිතී 
නුඹේ කටහඬට හුරුවූ මගෙ සවන්      පෙතී 
වෙන කිසි හඬක් සමගින් එක් නොවනු ඇතී  

නිමන්තිකා 

Friday, June 13, 2014

නුඹටමයි ආදරේ...

සුදු සඳක් පායන්න වෙර දරන                 ආකහේ 
සඳ කඳුළු පිසින්නට කෙනෙකු නැත පෙර    වගේ
ඉස්සරමදවස් වල දුක කීව                    පෙම්හිතේ 
රන් හීන උදුරාගෙන සඳ සාවි              කොහිගියේ 

සුවඳ  මල් මතකයේ සඳ රේණු        අතීතේ 
කඳුළු  පිරි මතකයක් පමණි ඒ     වසන්තේ 
මාලතී නොපිපුනත් කඳුළු හද        විජිතයේ 
පුරහඳක් සිරි මුහුණ සිත පුරා ඇඳි      තියේ 

හිත රිදී දුක පිරී ගෙවෙන හැම             තත්පරේ 
නොරිදි හැඟුමක් නොවේ දුක විඳින තුන් හිතේ 
අවොතින් අයෙමත් කවද හෝ පෙර      ලෙසේ 
සත්තමයි එදාටත් ඔබටමයි                    ආදරේ......

 නිමන්තිකා 

"දිළිසෙන ඇස්" මේ ඔයාට ....

                                                     හිම පොකුරු මල් යායෙ සුදු සේද     ඇතිරිලා 
                                                     සීතලට ගුලි ගැහෙන රෝස පෙති     ඇහැරිලා 
                                                     හීනියට පිණි ඉහෙන අඳුරු රෑ          තනිවෙලා 
                                                     මගෙ සුසුම් ඈත යයි අනන්තෙට       පාවෙලා 

                                                              මේඝයට අත වනන වැහි ලිහිණි  පියඹලා 
                                                              කෝඩයට ඉඩ තියා මද සුළඟ   කැළඹිලා 
                                                              පාලුවට ගිය හිතේ මතක මල්     අහුලලා 
                                                              ආයෙමත් යනු හිතයි අතීතෙට    පාවෙලා 

                                                                            සයුරුතෙර ක්ෂිතිජ ඉම අනන්තෙන්      විමසලා 
                                                                            නින්දටත් නොදැනෙන්න හීනයක්      හැන්ගිලා 
                                                                            නුඹ ඇවිත් මගෙ ලඟට සෙනෙහසින් ලං  වෙලා 
                                                                            හුදකලා මගෙ හිතට මහ ගොඩක් පෙම්    කලා 



                                                  නිමන්තිකා 

Thursday, June 12, 2014

අපිස් දිවියක මහිම 
කියන්නද සමිඳුනේ 
ගෙයින් ගෙට 
පිඬුසිඟා 
මා ලඟට 
පැමිණියේ....
දෙන්න රසමසවුලෙන් 
නැතත් 
මට හිමියනේ 
අවසරයි 
පිළිගන්න 
කටුක දන් පත මගේ .....

සඳවතී




ලස්සනට නිලඹරේ 
සිනාසුන සඳවතී 
හැමදාම එකවගේ 
සඳ කැළුම් නොමදෙති
දිනෙන් දින වෙනස් වන
මෙවන් ගතිගුණ ඇතී 
සඳ නුඹත් හරියටම 
වගේ මගෙ පෙම්වතී 


නිමන්තිකා 

Light house

මේක නම් මගේ පුංචි සංදියේ රසබර මතක වලින් එකක් ...
මං ඉතින් බහ තෝරන වයසෙ ඉඳලම ඇති දැඩි උනේ අත්තම්මා එක්කලනේ ..ඉතිං මම රෑට බත් කනවා හරිම හොරයිලු .දවසක් මගේ මාම මේකට හොඳ විසඳුමක් හොයාගෙන .ඒ තමයි ''LIGHT HOUSE''.

     ඒ කියන්නේ හිස් ජෑම් බෝතලයකට කනා මැදිරියෝ කීපදෙනෙක්  අල්ලලා දමලා, සිදුරු 
විදපු කඩදාසියකින් බෝතලේ කට වහලා , ගෙදර සාලෙ light off කරල මට පෙන්නන එක.


ඉතිං මං   LIGHT HOUSE'' 1 දිහා බලන් ඉද්දි අත්තම්මා මට කවනවලු.දන්නෙම නැතුව මං ඔක්කොම බත් ටික කනවලු .අද අත්තම්මා මගේ ළඟ නැතත් ,අදටත් රෑට කනාමැදිරියෙක් දකින හැම වෙලාවකම මාව උස් මහත් කරන්න අත්තම්මයි මාමයි විඳපු දුක ,ඒ අහිංසක උත්සාහය මතක් වෙලා ඇස් තෙත් වෙන්නෙ මටත් නොදැනිම.





නිමන්තිකා 

නැන්දම්මට

සුබ නැකතින් නව ලොවකට දොර   හැරුනා
පෙම්බර සිහින පෙර දින සිට සිත      මැවුනා
දෑඟිලි බැඳන් නුඹ නිවසට ගොඩ        වැදුනා
මට විතරක් නොවේ දුටුවෙමි නුඹටත් හැඩුනා

මගේ හිමි නුඹේ පුතු බව මම             පිලිගනිමි
මගේ මවු වැනිවූ නුඹ වෙනසක් නොදන්නෙමි
කඳුලින් පිරුණු නෙත කී තතු       හැඳින්නෙමි
කිසිදින නුඹගේ පුතු උදුරා         නොගන්නෙමි

පුරා හඳ මමයි පෑයූ ඔහු සෙනෙහෙ       ලොවේ
දිනකර නුඹයි නුඹ ළඟ ලෝකයම            මැවේ
සිත සුව සදන නුඹේ උකුලත රැඳුනු           සුවේ
සමකල නොහැක නුඹ අන් කිසිවෙකුට ලොවේ



දන්නෙමි මමත් මව් ගුණකඳ නැත        නිම්මා
වැදු දරු කැලට නිරතුරු පෑවේ            පෙම්මා
ලේලිගෙ ලකුණු මම නම් අහකට         දැම්මා
වෙයන් නුඹත් මට නැන්දෙක් නොව     අම්මා

          නිමන්තිකා  

Wednesday, June 11, 2014

සන්නාළී

ලොවටම කලින් අවදි වෙලා මැසිමට පණ පොවන්නී 
මල් ගෙත්තම් බීක්කු රැළි හැඩ දමලා             මසන්නී 
නේක වර්ණ නෙක සළුපිළි දුටු දන මන        බඳින්නී 
නුඹේ කඳුළද මුතු විලසින් ඔය තැන තැන    දිලෙන්නී 

සළුපිලි නිම වුවත් ඔය දෑතින්            නිතර 
ගත දැවටෙන්නේ එක මල් ගව්මකි    නිතර 
සබඳිනි ඔබේ හද ගැහෙනා          සත්සරය 
මැසිමද ලොවට පා කරනුයෙ       අඬහැරය 

හිරු සඳු තරු ඔබෙ තනිකම        මකන්නේ 
රසමසවුළු නොවෙද දරුවන්   සොයන්නේ 
හිමිසඳු නොමැති සොව පපුතුර   වසන්නේ 
මුව මත මුනිවතද නීති ජය           ලබන්නේ


නිමන්තිකා 

Tuesday, June 10, 2014

නුඹම තමයි

පොකුරු පොකුරු මල් පිපිච්ච 
මල් වැට ළඟ පෙති හැලිච්ච 
රන් වන් සඳ රේණු අතර 
තවම සොයමි හිත වැටිච්ච

ලස්සන සිතුවම්  වැටිච්ච 
පොළව හැඩයි සඳ වැටිච්ච
නුඹේ සිනා මල් වාගෙයි 
අතර මගදි මගහැරිච්ච 

සුලන් වැලෙන් දුර ගෙනිච්ච  
සීතල පිනිමල් පොඩිත්ත                                         
නුඹම තමයි සංසාරේ 
එකම පැතුම මට තිබිච්ච  

නිමන්තිකා 

සිරගත සිතුවිලි

පාලොස්වක පොහොය පින් සිත පුබුදු කල
පේවුනි සීලයක් කෙටි කරනට           සසර 
දොහක් පුරාවට නොකිළිටි සිතින්         තද
රැකුණි ඉත සිතින් සිල්පද අට            නිතර 

හවහට පවාරණ විය පැළ වෙත      යන්න 
එනමුදු සිතුනි  නැවතත් වෙහෙරට  යන්න 
තම සෙවණැල්ල සේ හුන් මිත්තනි  සමග
පහන් පිදුනි ලෙළදෙන බෝ       සමිදුන්ට 

සිලි සිලියේ සෙලවෙන බෝ පත්        අතර 
තරු නෙතු හිනැහුනා ගත සිත එකළු  කොට 
මදහස නැවතුනා සිත් ඉම සසළ        කොට 
කුමරෙක් හිනැහුනා අසරණ සිතක්     ළඟ ...

කාරණාව නොහැගෙයි සිත සසළ       වුනේ 
නෑර කැටුව ආවා වගෙ සසර               දිගේ 
යෑම කෙලෙස නොහදුනනා විලස      අනේ 
යා වනු කෙලෙස අප අහසයි පොළව වගේ  


නිමන්තිකා 

කිරිලි වලප

                           දිවියම එපා වී මට කලකිරුණු          රැයේ 
                           උලමා ඉකිබිඳුම කුටියට හොඳට      ඇහේ 
                           මා සැක කරනවලු දෙවිඳුන් හද දෙවොලේ 
                           ඇසුවෙමි කටුක වදනින් හද රුහිරු පෙරේ 

                           ඔබ මා පුවත් තතු හඳුනයි හැමට            වඩා 
                           එපමණි මෙමා දන්නේ අසරණය         මෙමා 
                           දෙනෙතින් වැගිරෙනා උණු ලේ කඳුළු  මෙදා 
                           තතු හෙළිකරයි රැක ගත් ආලය රුහිරු   පුරා 

                           නොකලෙමි කිසිදු වරදක් ඔබ තලනු     නියා 
                           අදහනු බැරිය පෙම්බර සිත ඔබද           කියා 
                           මුවගින් තෙපලු රළු පාරෝස් වදන්        නිසා 
                           වෑහෙයි කඳුළු දෙනයන බැමි ඉවුරු       කඩා

                          සුනුවිසුණුය මා කැදැලෙහි සතුට              මෙදා 
                          වැළපෙයි කිරිල්ලී දුක වාවනු නොහෙනු   නිසා 
                          කෙලෙසද කුරිරු මෙතරම් මගෙ හිමි        සමිඳා 
                          පැණයකි පැලුණු හද පතුලේ තිබුනි            අරා 

                           ඉගිලී පියඹ ආවත් පෙර සෙනෙහෙ        පුදා 
                           ඇය සීතලය නිහඬය නිසසලය            මෙදා 
                           තුඩඟට තබා තුඩගින් කිතිකැවුව             මුදා 
                           ඇය සැතපෙයි නැත හැලහොල්මනක්  මෙදා 

                           ගලා ගියා නෙතගින් වැහි කඳුළු          ලෙසා 
                           අයැදියි සමාවක් නිසසල දේහයම         අරා 
                           අසනු මැනවි පෙම්බර හිමි සඳුනි          මෙදා 
                           පමා වුවද ඔබ නිවැරදි පෙමයි                සදා



                           නිමන්තිකා 

ඔබේ සුවඳ තියල යන්න

සිහිනෙන් වත් දුවල ඇවිත්
 අනේ මගේ ලගින් ඉන්න 
ඈත අමාවක අහසට
 පුරහඳ වී එළිය දෙන්න 
දුරස් වුනත්, සිතින් සදා
 මගේ ළගට වෙලා ඉන්න
 යළි එනතුරු බලා ඉන්න 
ඔබේ සුවඳ තියල යන්න 

නිමන්තිකා 

Monday, June 9, 2014


බලන්න ඔබ,
 හිරු කිරණක් 
පිනිබින්දුවක් තුළින් 
යන්න ආස නැද්ද කියලා...
සද් පැහැයෙන් පාට වෙලා 
දේදුන්නක් වගේ වෙන්න....



                            
                         නිමන්තිකා 

කලු පාට ලෝකයක් නම් නොවේ ජීවිතේ

පොත් මිටිය අත රැගෙන
 පිය නගන මාවතේ
නෙකවරන මල් පිපී
 සුවඳ දෙයි  දස අතේ
 ඒ සුවඳ මල් අතර
 මහත් වූ කටු තියේ..,
රුදු කටු වලට නුඹේ
 සියුම් අත් පෙති රිදේ
 නපුරු කම් රිදුම් කම්
 තියෙන මුදු යෙහෙළියේ 
කළුපාට ලෝකයක් 
නම් නොවේ ජීවිතේ........



Sunday, June 8, 2014

අත්තම්මට කියන කවි






මැදියම් රැයේ සිහිලැල් සඳවතිය         මෙනී 
මගේ ලොව සැනහු හැටි ඇති මතකයේ රැඳී 
සැඟවී ගියත් අත්තම්මා මගෙන්             මිදී 
ඔබෙ ගුණ වයන්නට මට සප්තකය       මදී 

නිමක් නොමැති ලෙස පෑවේ මට  පෙම්මා 
අම්මෙක් උනා මගෙ ලෝකෙට අත්තම්මා 
සඳත් බැබළෙමින් දොරකඩ වෙත  එන්නා 
මගෙ හිත හඬයි යැද ඔබෙ උණුහුම නිම්මා 

මහමෙර තරම් දුක් කරදර පැමිණි    විට
හිස අතගගා නිරතුරු දුන්         සැනසීම 
ගිරිහිස වගේ සංවරකම             ඉවසීම 
යශෝදරා නුඹ අම්මේ මගේ     ලොවට 

කඳුළු කැවෙන මගෙ මේ  නෙතු යුග  දැකලා 
අත්තම්මේ එනවද ඉනි වැට               පැනලා 
සමන් වැලට උඩින් ඇවිත් ගෙට          එබිලා 
ඇවිදින් හිනැහෙන්න මගෙ හිස       අතගාලා 
                  නිමන්තිකා 

ඉල්ලුවෙ සිනහව දුන්නේ කඳුළක් 
වෙන දීගෙක ගොස් මා හඬවා ...
මල් නෙතු සිපගත් අප හමුවූ තැන් 
දුටුවේ මේ සඳ පමණි සදා.....

දෝතට සිත දී  දිව්රූ සැමවර
ප්‍රර්ථනා මල් සුවඳ දරා....
පව් පින් නොසිතුවෙ ඇයි යසසිරු ළඟ 
මගෙ හෙට මා හට අහිමි කලා...

මගේ හුස්ම පොද මගෙ පණ රන්කඳ 
හුරතල් බස් උඩු සුළගෙ ගියා....
රැයක් දවාලක් අදක් හෙටක් නැති 
හෙටක් මවෙත දී සුවඳ ගියා ....

                                                         

නිමන්තිකා

Saturday, June 7, 2014

පතන්නම් මතු භවෙක

වස්සාන සිහිනයට
 මුල් පුරන අවදියක
 හෙමින් එබිකම් කලත්
 ඔබ මගේ හදවතට
 පුදනු බෑ  සිත ඔබට
 දුක දැනෙයි තුන්සිතට
 පව්රු පදනම් වලට
 බයයි මගේ පුංචි සිත
 සොඳුරු ඔබේ සිනා හඬ
 දයාබර වදන් පෙළ 
හුරුයි මගෙ සිත් මලට
 පෙර භවෙක විඳි ලෙසට
 වෙර නොකරන් මෙමට
 ආදරෙයි මම ඔබට
 හිමි නැතත් ඔබ මෙමට
 පතන්නම් මතු හවෙක...... 


නිමන්තිකා 

Friday, June 6, 2014

දිය ඇළි සොඳුරිය

                                     
                          ගහකොළ පිරුණු වන දහනක රැඳි    නිල්ල 
                          බාධක හමු වුනද කල නොහැකියි   මෙල්ල 
                          මනහර දසුන් නෙත පිනවන දිය       ඇල්ල 
                          කෙතරම් පියකරුද දුන්හිඳ දිය          ඇල්ල 
                                       
                          හිමකැටි සුදෝ සුදු පැහැයෙන් නිති      උදුල 
                          නොනැවති ගයන අරුමැති   ගීයකි      සසල 
                          නොකිළිටි  විලස රැක ගනු රිසියෙන්   සිසිල 
                          සඟවයි ඇගේ රූ සිරි මහ වන               වදුල

                           පිපිලා සිනාසෙනමල්ගොමු    අරුණැල්ලේ 
                           ඉමිහිරි කුරුළු කූජනයක         නැළවිල්ලේ 
                           රඳවා තබාගෙන නෙක සිත එක     එල්ලේ
                           තව ලස්සනට නටපන් සුන්දර     කෙල්ලේ 

                                        

නිමන්තිකා

අවසරද මට............

                                                සැදෑ අහසින් නික්ම ගිය හිරු 
                                ඇවිත්  පෙරඹර එළිය කරදී 
                                පොළෝ තලයම වසයි රන්කෙඳී
                                සිනහ වෙයි තරු වැල්ද  පිබිදී

                                මැදියම්  රෑ සදවතියගෙ 
                                කෝළ  නුරා  පෙම් පැදි  ගී 
                                හැංගි හොරා ඉගි පෑවද 
                                තරු මල් දුටුවයි  හිනහී 

                                ලියාගන්නට බැරිව ලතවෙමි 
                                ආදරේ මල් සුවඳ පිබිදී 
                                කියාගැනුමටදහසකුත් දේ 
                                තිබේ මා හද පතුලෙ කිමිදී 

                                දරාගන්නට නොහැකි තරමට 
                                වේදනා ගල් ගැහුනි පෙරදී 
                                මුදාහරිනට අවසරද මට
                                චේතනා තනිකමක නොරැඳී.................










                       නිමන්තිකා 

කව්රුද මට මා අහිමි කලේ ????

     හිමින් සීරුවේ මනියෙන් නොමිදුනු
සිනිඳු පියාපත් කුමුදු මලේ...... 
  සහස් ගව් දුරක් ඇවිද ඇවිත් නැත
දිවියම ලපටියි තවම සිතේ...... 
                          

      මනියෙන් මුක්තව සිනහ සලන විට
කව්රුද වනනා දෑත දිගේ.........
           පෙම් කඳ අරගෙන ඇයි දැයි නොදනිමි
         සළු එලු  යහනේ නෙතු වැසුනේ.......


වැව් තාවුල්ලට වැටී ඉපිර මල් 
රැයක් පහන් වන හෝරාවේ....
    ඔබට දයාබර නෙළුම් පතක් මත 
        පිණි  බිඳු වැකුණයි සිහින් සැරේ.... 



   ගත රස සොයමින් සිත දිවගෙන 
          පින්මද සෙනෙහස ලැබුනු වෙලේ..... 
හදාගන්න හිතකියාදෙන්න මට
කව්රුද මට මා අහිමි කලේ.....

නිමන්තිකා

බබා පාත්තුව

                                   බබා  පාත්තුව.....




      සති අන්තයේ මා ගොඩ වූ බස්             රථයේ
      දුටු දසුනක් ඇත සුරැකිව ඇතුලු              ළයේ
      සවි කර තිබූ මළු රඳවන                 රාක්කයේ 
      කෙලවර කොක්ක හැඩවුනි පොඩි සපත්තුවේ


      මිරිවැඩියකි බිළිදියකගේ තෙමස්          වියේ 
      කැටයම් කර තිබුනි විසිතුරු නොයෙක් විධේ 
      එය දුටු සැණෙන් සිත රැදවුනි          අතීතයේ 
      සසැළුණු වැඩිද මන්දා කඳුළකිය          ඇහේ                        
                                                            

      මිහිරි මතක පිරි මා ගේ  ළ මා              වියේ
      මෙවැනිම දෙයක් සිහිවී සිත කිතිත්     කැවේ 
      ගමනක් ගොසින් යළි පැමිණිය විටදි    අනේ 
      අහිමිව තිබිණි මිරිවැඩියක් පුන්චි         මගේ 

     ''බබා පාත්තුව කෝ''විය පැනය          මගේ
      මවට අහිමි විය නිදහස විඩි න්           විඩේ 
      සොයමින් හතර අත දුවගොස් වත්ත  වටේ 
      හැඩු කඳුළින්ම නිදි දෙව්දුව වෙතට    ගියේ 

     
      අලුයම පිබිද පැමිණිල්ලකි පිය        හමුවේ 
    '' බබා පත්තුව නෑ මට ඕන                අනේ ''
     දිලිසුණි දෙනෙත් මා පින්බර මව්      පියගේ 
     නව මිරිවැඩි සඟලකි විසඳුම               වූයේ 

   
    ඔබෙත් මගේ මෙන් ඔය හිත       රිදුනාද 
    එසේ නොමැති නම් එයටත්    හිනැහුනිද
    අනෙක් මිරිවැඩිය තනි වී        වලපෙයිද
    නැතිනම් මගේ හිත සංවේදී           වැඩිද      
      නිමන්තිකා