Monday, January 5, 2015

ඕo වැඩේ... මමත් සම්මානයක් දිනලලු




          බ්ලොග් කලාව ගැන මෙලෝහසරක් නොදැන ඉඳපු මං මේ කලාවට පිවිසුනේ අහම්බෙන්. කරමින් ඉඳපු රැකියාවට සමුදීල පාළුව දුක දරන් තනියම දවස් ගෙවාගන්න බැරිව ලතවෙද්දී කෙනෙක් මට හරි අපූරු ලින්කුවක් එව්ව. ඒක අදටත් මම book mark කරගෙන ඉන්නව. ඒ වෙන මොකක්වත් නෙවෙයි "බස්සිගේ නවාතැන". ඉතිං බස්සියෝ ඔයාගේ නවාතැන මගෙ ජිවිතේට හුගක් සමීප උනා. ඒ වගේම ඒ හරහා තවත් බ්ලොග් හඳුනාගන්න ලැබුන. හුගක් දේවල් රසවින්ද, ඉගෙනගත්ත. ඔය අතරෙදි ඒ පුද්ගලය හරිම වැදගත් යෝජනාවක් කලා මට. ඔව් ඒ තමයි පොත් ඇතුලේ හැංගිලා තියෙන මගේ නිර්මාණ ටික කාටත් බලන්න පුළුවන් විදියට කරළියට ගෙන ඒම. ඒ තමයි මගේ නිර්මාණ වලට යම් වටිනාකමක් තියෙනව කියල දැකපු පළමු පුද්ගලයා. ඉතිං ඒ යෝජනාවේ ප්‍රතිපලයක් විදියට මම "දිලාගේ ලෝකය"කියල බ්ලොග්ගුවක් හදාගත්ත. කොහොමින් කොහොම හරි දිලාගේ ලෝකයට blog මිත්‍රයෙක් කියලා හා හා පුරා කියල ගොඩවැදුනේ අවන්හළේ "මහේෂ් රත්නායක". ඒ ඇවිත් දාපු කොමෙන්ටුව මට ලොකු සතුටක් උනා.. ඉන් පස්සෙ මාතලන් මාම ( ඔරවන්ට කාරි නැතුවා ) ප්‍රියා අයියා, වර්ණ ලියන දිනේෂ් උමගිලිය අයියා, කුරුටු ගෑ ගී පව්ර හුදකලා රස්තියාදුවේ සංචා, දේශා, ඉවාන්, සඳුමල්, සිංදු ඇනෝ  යන හැමෝම මට කොමෙන්ටු දමමින් දිරිමත් කලා. පටන් ගත්තු දවස් වල ඉඳන් මේ දක්වාම දිලාගේ ලෝකයට ගොඩවැදුණු "මහී" අයියට හුගක් ගරු කරනවා. ඒ වගේම මාතේ මාම මාතලන්ගේ සිංඩියට දිලාගේ ලෝකය ඇතුලත් කරන්න ඉඩ දීලා දුන්නේ සුළුපටු සහයෝගයක් නෙවි. මම දන්නව තවමත් මම ආධුනිකයි. නමුත් මගෙ කවි නිසදසකට මේ තරම් අගයක් දීපු ලංකා නිව්ස් වෙබ් අඩවියේ නෙළුම් යායේ සහෝදර හැමෝටමත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ සඳහා මගේ බ්ලොගය හඳුන්වල දීපු අජිත් ධර්ම අයියටත් බොහෝම තුති.

          මේක පුංචි දෙයක් උනත් මට මෙහෙම අවස්ථාවක් ලැබුන එක ගැන හරි අහිංසක සතුටක් හදවතේ තියෙනව. මේක මට හුගක් වටිනව. මේකෙ ප්‍රවීණයෝ අධුනිකයොන්ට නොමසුරුව අතහිත දීම පුදුම තරම් ශක්තියක්. ඉතිං මම ඉදිරියටත් ලියනව. අඩුපාඩු පෙන්වාදීම ඔබ හැමෝම සතු යුතුකමක්.. තව දෙයක්, මේ හැමදේම පිටුපස දිළිසෙන ඇස් දෙකක් ඉන්නවා.ඒ කෙනාට මගෙ මේ හැම ගෞරවයක්ම සතුටක්ම ලබාදෙන්න ඕන.

               අවසානයේදී කියන්න තියෙන්නෙ මාතලන් මාමේ, බස්සි අක්කේ ඔයාල බ්ලොග් කලාවට මට අත්පොත් තිබ්බ. ඒ වගේම මහි අයිය, ප්‍රියා අයිය, දිනේෂ් අයි, සංචා, අටම්පහුරෙ ඉඩ දීපු අටම් අයිය මේ හැමෝමත් මගෙ පිටුපසින් ඉඳන් මාව දිරිමත් කරපු මගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියොත් (බට්ටා ඇතුළු) දිලාගේ ලෝකයට ගොඩවැදුන ඔයාල හැමෝටමත් ජයෙන් ජයම වේවා!!   


Thursday, December 18, 2014

වළකනු නටබුන් මතක





සිසිරයක සිරව ඇත 
හද සන්තානයම...
උලමෙකු ලෙසින් බෑඟිරි දෙයි 
පැතු සිහින...
කොවුලෙකු වගේ වියපත් 
අත්තටු රිදෙන...
නොම එනු කියා වළකනු 
නටබුන් මතක...

නිමන්තිකා 

Friday, November 28, 2014

ෆිල් හියුස්

බොඳව ගිය තිතක්ව 
මහත් මීදුමක් තුළ 
තණ නිල්ල බැලූ බැලූ අත පෙනෙයි 
ලං වෙන්න බැරි උනත්
සිත පිනෙයි... 

නිහඬ කුටියක් ලෙසට 
නුහුරු නුපුරුදු කමක් 
සීරුවට පිත්ත වට ගැට ගැසෙයි 
රිදී දැල්ලක් වගේ 
යළි මැවෙයි...අවදි වෙයි...

ශෝක ගී තෙත නුවන් 
ඇසෙන නෑසෙන වදන්  
හැම අතම කඩිමුඩියෙ ඇස ගැටෙයි 
නොතැවෙන්න යලි සුහද,... වැළපෙන්නේ කුමකටද?
පන්දුවෙහි මිස වරද නුඹේ නොවෙයි.... 



Wednesday, November 19, 2014

ලණු කොස්ස..

මේ අපේ මනුවා සම්බන්ධ  තවත් රසකතාවක්..
අපේ සෙට් එකේ ඉන්නවා වැඩිය උසත් නැති මහතත් නැති කොල්ලෙක් (බටු වර්ගයේ ) ... හැබැයි ඉතිං මේකගෙ වැඩ නම් සුපිරියි කොටින්ම ඉලෙක්ට්‍රොනික් බට්ටෙක්..(බට්ට ගැන කතාවක් පස්සෙ ලියන්නම් )
ඉතින් අපේ බට්ටගේ අප්පච්චි ඇවිල්ලා දක්‍ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක්...



නිවාඩු දවසට, පුළු පුළුවන් වෙලාවට අපේ මිත්‍රයො "බට්ට ඩඩා" ට උපරිම සහයෝගයක් දෙනව.

දවසක්  අපේ බට්ට ඩඩා අපේම මිත්‍රයෙක්ගේ ගෙදරක වැඩක් කරන කොට 
අත් උදව්වට අපේ මනුවා ඇතුලු පිරිස සහභාගී උනාලු. 
අපේ සැට් එක ඉන්න තැනක ඉතිං පාළුවක් හතර මායිමක ඇත්තෙ නැත්තෙ මෙයාල විහිළු වලට උපන් හපන්නු ටිකක් නිසාවෙන්මයි..

 ඕන් ඉතිං එදත් කස්ටිය කෙනෙකුට බයිටක් දෙන ගමන්, කඩියෝ වගේ එහෙ මෙහ දුවගෙන ගජරාමෙට වැඩලු ..ඔහොම වැඩේ නැගල යන අතරෙ, වැඩ තද වෙලා ඉඳපු බට්ට ඩඩා මනුවට කිව්වලු 


"ලණු කොස්සක්  ගෙනෙන් පුතේ " 

මනුවට කියන දේවල් ඇහෙන්නේ අමුතුවට කියල මං කලිනුත් කියල ඇතිනේ..

ඉතිං මේකත්
 "හං" 
කියල දඩ බඩේ දුවල ගියාලු..ගිහිං මේකා ඒ ගේ වටේ දිව්වලු,මිදුලෙ වටයක් කරකුනාලු, 
ආයෙම කුස්සියටත් ඔළුව දමල බැලුවලු...පස්සෙ කඩාගෙන බිඳගෙන දුවන් ගියාලු.
ඕක නෝට් කරන් ඉඳපු බට්ට ඇතුළු අපේ සෙට් එක අන්දුන් කුන්දුන් වෙලා බලං හිටියලු..

ඒ වෙද්දි මනුවගේ පරක්කුව ගැන විපරම් කරපු බට්ට ඩඩා..., 

"කෝ මේ කොළුව?"

 කියාගෙන එතනට ආවලු.
මනුව දැකපු බට්ට ඩඩාගෙ ඇස් ලොකු වෙලා හිනාවක් දාන ගමන් මෙන්න මෙහෙම කිව්වලු,,,

"ඈ පුතේ..,   ඕකෙන් කොහොමෙයි බං කපරාරුවට දිය ඉහින්නේ????? "

වැඩේ මීටර් උන අපේ සැට් එක තක් බිර් වෙලා බලං ඉඳපු මනුව දිහා බලල එදා  බඩවල් අල්ලගෙන ඉල ඇදෙනකල් හිනා උනාලු.

ඇයි ඉතිං ලණුකොස්සයි උළුවස්සයි පටලෝගත්ත  අපේ මනුවා මතු වෙලා තිබුනෙ බාගෙට හදාපු උළුවස්සක් කරතියන් නොවැ.

ප.ලි . :- ("ලණු කොස්ස" යනු කපරාරුවට දිය ඉසීම සඳහා ලණු මිටියක් එක් කොට සදා ගන්නා උපකරණයකි) 

නිමන්තිකා 

Sunday, November 2, 2014

නූඹේ ළඟ

සඳ දියෙන් රළු පොළව 
සිප වැළඳී වෙලාවක 
නෙතු පියන් පන්හිඳෙන් 
වෙලෙමි මා නූඹේ ළඟ 

තරු දෙනෙත් බොර දියෙන් 
හේදෙනා  සැදෑවක 
මුතු කඳුළු තියා මම 
හැඬුවෙමිය නූඹේ ළඟ 

ප්‍රිය වදන් මුදු තෙපුල් 
මගෙ ලඟින් කියාලන 
නුඹ දකින තුරු නෙතට 
සැනසුමක් නෑ හිතට 

හිටිගමන් මදහසින්
මා දෙනෙත් නිවාලන 
නුඹේ සුසුම් ළය මතින් 
ආදරෙන් තබනු මැන 

වැසි වැටී තෙතබරින් 
හදවතම තෙමාලන 
හඬ හඬා නූඹේ ළඟ 
හිඳිමත් සැපකි මට 

දුක් තැවුල් සිත් රිදුම් 
නැවතුමක් තබාලන 
තුරුළු වෙමි සෙනෙහසින් 
හාදුවක් තියා මම  



                                            -නිමන්තිකා -

Wednesday, October 1, 2014

කමටහන

මෝඩ ඇල ළඟ ඇසතු බෝ රුක 
විජිනිපත් දහසක් සලාගෙන
සෙත් පිරිත් විසිකරයි සුළඟට 
සෙත් පතා දුක් විඳින නුවරට 

වර්ණ ටොපි චොකලට් කොළ සිඹින 
ප්ලාස්ටික් පොලිතීන් ලෙවකන 
තෙල් මන්ඩි කළු මඩ මිදී ගිය 
උදම් රළ දැක උදම් වෙන ඇළ 


මැද පන්තියේ හදවතක් මෙන්  
පිම්බෙමින් නලියන මෝඩ ඇළ 


ඉරේ ගිනි අඟුරක් වැටෙන විට 
තම හිසට තම පොත පමණමය 
බියේ සිලි සිලි බෑග පතුලින් 
සිහින කැබලිව බිම වැටෙන සඳ 
උණු තාර කකියයි පතුල් යට 
මේ දෙපා සෝඩි ටිකිරිද ?

ඇදුනු මරුවැල පැකිල බිම හුන 
විසුල එළවලු අතින් අහුලන 
මහළු මවකගෙ පයට පෑගෙන 
බිඳුණු විදුරු කැබලි දිළිසෙන 

බලු වසුරු රන් පයින් පාගන 
සෙමෙන් බොළඳව පෙම උරා බොන 
පෙම්වතුන් මන නුවණ කවි කල 
චිත්‍රපට දැන්වීම් පුවරුව 

ධූලි වැකි ලොතරැයි පතක් උඩ 
කඳුළු බිඳුවක් දිලිසෙමින් ඇත 
වාශ්පව අහසට නගින්නට 
ලඟා වනතුරු තාපාංකය 

නුවර දොර මග සෙනග ගැවසෙන - මෙ කවි කැබලි හමු වීය මෙමට 
නොවැටහෙයි ඉන් කවි තනන්නට - එකින් එක අමුණා හුයෙන් හුය 
තබා යමි එය ඇසතු රුක මුල - නොසැලකිල්ලට නොපෑගෙන්නට

සුදුසු ලෙස පහදනා සිතැතිව - දිනක පැමිණෙන බෝසතකු හට       

Monday, September 29, 2014

දයාබර විභාගය...

යනෙන මාවත දෙපස 
විහිඳිලා මල් සුවඳ 
සියොත් කැල එක් වෙලා                   
ගයනවා රස ගීත...
                                                                      
සිතෙනවා නවතින්න 
මොහොතකට ඔවුන් ළඟ 
දයාබර විභාගය..
මට කමා කරනවද ....?





ප :ලි : මේ බට්ට කාලේ ලියපු කවියකි.







Wednesday, September 17, 2014

කැහිකූරු ආලය

කැහිකුරකට  වගේ 
නුඹ මාව සැලකුවේ 
ලස්සනට ලඟට ගෙන 
තදින් පෙම උරා බී 
මන්මත්ව...,
සෙමෙන් 
වාතලයට මුදා, දුම...
නමුදු ශේෂ වී ඇත 
නුඹෙන් මා පැතු 
සැනසීම,
අළු අංශු මාත්‍ර ලෙස....


නිමන්තිකා
  

Tuesday, September 16, 2014

"ජුජුබ්ස් "

"ජුජුබ්ස්"... ඔහ් මොනතරම් රසවත් කෑමක්ද? 
හුහ් මතක් වෙනකොටත් කටට කෙල උනනව.
       (හැබැයි ඒ දිලාට )     


ජුජුබ්ස් මතක් වෙද්දි තුම්මුනින් දාඩිය දාන,කන් රතුවෙන , පට්ටම අවුලකට පත් වෙන අයත් ඔය අතරේ නැතුව නෙවි..


                                        "නෑ...."
     ඔයාල කෝමද ඒම කියන්නෙ ? එහෙම වෙන    ගොයියෙක් අපේ සැට් එකේ නම් ඉන්නවා. 
"ඔව් ඔව් අනේ.. වෙන කව්ද ඉතිං අපේ සුපුරුදු කථානායක තමා..
ඔව් ඔව්, මේකත් අපේ මනු පෙරල ගත්ත තවත් බාල්දියක් .
මේ මනුවගේ ඔපීසියේ කස්ටිය පවත්වපු උත්සවයක 
          සිද්දියක්..
දකුණු පළාතේ රූකඩ වලට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයක, කනිෂ්ඨ විදුහලක අඩු අදායම් ලාභීන් ලෙස හඳුනාගත් සිසුදරුදරියන්ට පාවහන් ලබා දීමට ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක් උත්සවයක් සංවිධානය කලා.ඉතිං අපේ මනුවත් ඔය වගේ වැඩ වලට උපරිම සහය දෙන කොල්ලෙක් වෙච්චී..
සංග්‍රහ කමිටුවේ සංවිධායක විදියට බොහෝම ඇප කැප වීමෙන් වැඩ කලා..
සංග්‍රහ සාදය "ලෙසටම " සංවිධානය කරන අතරතුරේ 
මනුවා ප්‍රීතියෙන් අමන්දානන්දයට පත් උනේ...මේන් මෙහෙමලු "ඕඕඕ ... ජුජුබ්ස්... කා....ලෙකින්.."


හැමට කලින් ඇස ඉස්සර උනා නුඹ ළඟ... 
හිතට හොරෙන් අත සක්මන් කලා නුඹ වට...
කටට හොරෙන් නුඹ ඉක්මන් උනා මගෙ දිව...
අපට හොරෙන් වැඩ ඉක්මන් උනා අපි ළඟ...

"මනු ඉක්මනට වරෙන් මචං , බොසා උඹව හොයනව.
ඔතන වැඩ ටික රෙඩි නේද??
ඉක්මනට යමන් .. ආරාධිත අමුත්තා යෝජනා කරලලු 
ශාඛා කාර්ය මණ්ඩලයටත් ඇවිත් පොඩි එවුන්ට සපත්තු බෙදන්න කියල.ඔතන වැඩ ටික සෙට්ල් කරල ස්ටේජ් එක ලඟට සෙට් වෙයන් " 
(ඒ මනුවගේ බැංකු ගජය )
හ්ම්.. මදෑ ජුජුබ්ස් කෑවා...
ඕවයින් සැලෙන කොල්ලොද අපි හුහ්
 (මිනිත්තුවකට මයික්‍රෝ තත්පර කොච්චරද වේගෙන් ජුජුබ්ස් අහුරු 2ක් අරං සාක්කුවේ ඔබා ගත්ත කොල්ලා...එසැණින් වේදිකාව අසල ) 

ඉතින් උත්සවේ  ලස්සනට වැඩේ කෙරීගෙන යන අතරතුරේ, බැංකු කාර්යමණ්ඩලයේ කස්ටියත් සපත්තු 
බෙදාදීම කරගෙන යනව. පුංචි උන්ගේ හිනා කටිං එකයි.  

ඔහොම ඉද්දී මනුවගේ වාරෙත් ආව.ස්ටේජ් එකට නැග්ගම අමුතු මෙව්වා එකක් දැනුනේ ආපු මැති ඇමතිවරු දෙමව්පියෝ..පුංචි ඈයෝ ඔක්කොමල කට කනේ තියං බලං ඉඳපු නිසා මිසක්, සබකෝලෙකට නම් නෙවි.

නමක් කියවුනා..පුංචි පැටික්කෙක් ආව, දණගහල වැඳලා දෝත බදල තෑග්ගත් අරං හිනාවේගෙන ගියපු විදිය දැකල අපේ එකාට අමුතු හැගීමක් හිතට ආපු නිසා, ඊළඟ පුංචි පැටික්කිගේ නම කියවෙත්දී අපේ එකා සාක්කුවට අතදාල ලේන්සුව ඇදල ගත්තේ හීනියට මතුවුණ දාඩිය බිංදු පිහගන්න උනත්,,
 ඔව්,, ඇත්තටම වේදිකාවේ 
 ලස්සනම ලස්සන වැස්සක් වැස්සේ හැමෝම 
සිනා ගන්වනගමන්...
ඔව් ඒක නිකන්ම නිකං වැස්සක් නෙවී..,
පාට පාට ලස්සන "ජුජුබ්ස්". වැස්සක්  
(මින් ඉදිරියට සිදුවූයේ කුමක්ද යන්න සිතීම ඔබට භාර කරමි) 
                           

ප.ලි . :- මෙය සත්‍ය සිදුවිමක් බව කරුණාවෙන් සලකන්න. 
නිමන්තිකා.