Wednesday, May 20, 2015

නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න...

රoග..,
          ඔව් ඔයාගේ දුඹුරුපාට බළල් ඇස් අදටත් ඔයා එනකම් මග බලං ඉන්නව. දැන් ඔයාගේ පුංචි දෝණිට අවු;6 ක් වෙනවා. ඒ කියන්නෙ ඔයා "නිවාඩු අරං" ඒ හා සමාන කාලයක් වෙනව. අදත් යුධ ජයග්‍රහණ සමරුව. වෙනද තරම්ම ජයට නෙවි ලු. සමරු උත්සවේට එන්න කියල ආරාධනාත් ලැබුන. මං ඔයාගේ අම්මව  යවල පුරුදු විදියට ඔයාගේ සුදුබෝලේ වඩාගෙන කුඹුක් ගහ ලඟට ආව. ඔව් ඔව් ළමයෝ ..,
 
       ඔයා ඉස්සර ලෝකෙටම හොරා මට රහස් කියපු තැන.
       අපි දෙන්නගේ පළමු හාදුව හුවමාරු වුන තැන.
     
    ඒ කාලේ දැන් වගේ නෙවෙයි. මං පොඩි කෙල්ලෙක්. ඔයා ගැන මං මගෙ යාළුවො එක්ක කතා කලේ හරිම ආඩම්බරෙන්. ආමි කොල්ලෙක් එක්කයි  යාළු කිව්වම පවුලේ ඔක්කොම විරුද්ධ උනත් මට නම් ඊට වඩා වීරකමක් තිබුනෙ නෑ.
 
       මතකද ඉස්සර ඔයා නිවාඩු ආවම.? අපි කොහේ කොහේ යනවද.? පංති කට් කලේ ඉගෙන ගන්න ආසාවක් නැතුව නෙවේ. ඔයා එක්ක ඉන්න ඊට වඩා ආස වුන නිසා. ඒ ආපු හැම දවසකම අපි එක ප්‍රශ්නයක් ළඟ නතර උනා. අපේ සම්බන්දෙට විරුද්ධ වුන හැමෝටම, ත්‍රස්තවදියෙකුටවත් බය නොවුන ඔයා බය උනා. ඒකෙ ප්‍රතිපලයක් විදියට ඔයා වන්නි සටනට යන්න කලින් දවසේ ලෝකේ කාටත් හොරා අපි අපේම උනා . පුරුදු විදියටම ඔයාගේ කකුල් අල්ලලා වැඳ වැටුන මං දිහා බලං කවදාවත් නැති විදියට ඔයා ඇඬුව.....

       ඔයා අන්තිමට මට ලියපු ලියුමෙ තිබුනෙ රොෂාන්ගේ ප්‍රසිද්ධ සින්දුවක්. "නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න..."  ඒ ඔයා ගිහින් මාස 3කට පස්සෙ. ඒ වෙද්දී ඔයාගේ දූ පැටියට මාස 3ක් කියල දොස්තර කිව්ව. ගමේ මිනිස්සු කියන කතා, ගෙදරින් ගුටිකාපුව, කිසිම දෙයක් මං ඔයාට ලීවේ නෑ. ලියපු එකම දේ "ඉක්මනින්ම මගුල් මුද්දත් අරං එන්න. අම්මලාව මං කැමති කරගත්ත" කියන එක විතරයි.

       ඔයා නිවාඩුවක් අරං ආව. හැබැයි ගියපු විදියට නම් නෙවෙයි. ඔයාගේ බඩුටික භාර දීපු අයිය  රතුපාට පෙට්ටියක දාපු මගෙ මගුල් මුද්ද දීල වහළේ උළු ගණන් කරපු වෙලාවෙ මට ඇහිපිය ගහන්න වත් අමතක උනා. දෝණිගේ සුදු තාත්තිය දෝණිව නොදැකම සදහටම නිවාඩු අරං තිබුන.

            දින, සති, මාස, අවරුදු ගණන් ගෙවුන. දැන් හුඟක් අයට ඔයාව අමතකයි. ඔයාගේ බඩු ටික තවම පරිස්සමට තියෙනව. හරියට කෞතුක වස්තු වගේ. ඒ අස්සේ ඔයා ඉස්සර මගෙ දිග කොන්ඩගස් අරං ගියපුව හරි ආදරෙන් ලේන්සුවක ඔතල ඔයාගේ බෑග් එකේ ඔයා දාපු විදියටම තියෙනව. ඔයා ආස කරපු දිගම දිග කොණ්ඩෙට, ඔයා අයිති කරන් හිටපු බෝල බළල් ඇස් වලට, හුඟක් අය කැමති උනා. ඒත් මං කොහොමද ඒව තව කෙනෙකුට දෙන්නෙ.? ඒ හැමදේම අයිති ඔයාට වෙච්චිකොට...


     දෝණිගේ හැම උපන්දිනේකටම මං "රණවිරු ස්මාරකය" ගාවට ගිහිං ඔයාගේ නම පෙන්නනවා. උප්පැන්නට ඔය නම නොදුන්නට ආත්මෙන් එයාගේ තාත්ත ඔයා. ලෝකයා මොනවා කිව්වත් මේ ටික නම් ඔයාට කියන්නම වෙනව. දූ ඔයාව හොයත්දී මං හරිම අසරණ වෙනව. දැන් නං එයාටත් ටිකක් තේරෙනව. මොනව උනත් අපේ ආදරේ වෙනුවෙන් ඒ හැමදේම මං ඉවසනව.

         ඔයා කිව්වා වගේ මේ දිග කොණ්ඩෙට මං හැමදාම තෙල් ගාල ගොතනව. ඈත අහසේ හැමදාම දිළිසෙන තරුවක් වෙලා ඔයා මගෙ ළග ඉන්නව කියල මං දන්නව. ඒ තරුවෙන් බැහැල ඇවිත් කුඹුක් ගහ ලඟදි මට දෙන හාදුව ඉල්ල ගන්න මං හැමදාම හවසට එතනට එනව.

       දැන් දුව ටිකක් ලොකුයි. ඔයාගේ කපාපු පළුව. කට කොනින් ඔයා දාන හිනාව ඒ විදියටම එයාටත් තියෙනව.
      ඔයාව අනිත් කාට නැතත් මට සදාකල් මගේ ලෝකේ වීරය. ඔයාල වගේ අය නිසා අද මේ හැමෝම නිදහසේ ජිවත් වෙනව.ඔයාගේ ආදරයේ වටිනාම මතක සැමරුම ජිවිතේ දෙවනි කරල මං පරිස්සමට හදනව..

         දිළිසෙන තරුවක් වෙලා හරිම පරිස්සමට ඔයා ඉන්න.

මේ ඔයාගෙම 
සීදේවි....




(අවාසනාවට තවත් ඇත්ත කතාවකි.)     

Monday, May 18, 2015

වැතිර සයනෙක ගිලී සිහිනෙක නුඹ වයයි තනුවක් මෙදා

සිහිනයක් වී සැඟව ගත්තද 
ගිගුම් දුන් රන් ස්වර වයා?
අතැඹුලක් ලෙස - යුගත පෑ නුඹ 
ගුත්තිලම විය දස දිසා 

නෙතඟ සිනිඳුවට තෙත් වෙනා කල
නුඹ වැයුම් රඟ නිති අසා 
කප්පරක් දුක් වා තලට පිඹ 
මත් වුනෙම් අප සැනසිලා

වැතිර සයනෙක ගිලී සිහිනෙක 
නුඹ වයයි තනුවක් මෙදා
කියන් සොහොයුර - කෙදින ඒද යළි 
නුඹේ ඒ සරු සුභ සිනා 


Tuesday, May 12, 2015

සීවලී යන්ත්‍රය

"සීවලී රුව තිබෙන ගෙයි නම් 
බතින් කිසිවිට නොවේ අඩුවක් "

මසැසින් දුටුවිට සීවලී හිමි රුව 
මනසට නැගුනේ පෙර ඒ කී බණ 
සත්‍යක්මද?
පසක් කරගන්නට සිතුනි මට 
නමුත් පෙනෙනා පරිදි නම් ,


පියෙකු දුක්වී හෙළු කඳුළැල් 
දෑත මත කහවණුව හැරුණේ 
ලැබුණු කහවණු ගෙදර වළඳේ
බතක් වී කුසගින්න නිවුණේ...

පියෙකු නැති කළ කාසි ලැබුවට 
මවක නැති කළ උයා පිහුවට
ගෙදර ඇති සීවලී හිමිසඳ 
කන්ට දුනිදැයි නොඒ මතකෙට 

පොළව මත පය තබා කදිමට 
වෙහෙස වී දිවි ගෙවන තරමට 
යසස් ලැබිලා කුසත් පිරිලා 
දිවිගෙවන්නට හැකිය සදහට 

දෑත බුද්ධිය
වෙහෙසා තම 
දිරිය ගෙන කල් ගෙවන තරමට 
ලොවේ ඇති නැති බෝ දනන් හට
හැකිය තම කුස පුරව ගන්නට 
ඇතත් නැතුවත් විරාජමානව 
බබලෙත් සීවලී රුව 
ගෙදර බිත මත 




 
 

Tuesday, May 5, 2015

මේ සියළු අව් අස්සේ මා පුංචි අම්මා කෙනෙක් වූයෙමි

       ඒ වර්ෂ 2015 ක් වූ බක් මස 28 වැනි අඟහරුවාදාය. දැඩි අසනීප සුවයෙන් පසුවූ නමුදු දිලා අමාරුවෙන් ඇඳ පැළඳ ගත්තේ අදවත් ඔපීසියට ගොස් වැඩ ටික හමාර කරගත යුතුය යන පරම පිවිතුරු උතුම් චේතනාව සහ හිතේ හයිය නිසාමය. නමුත් මගේ බොකුටු පොකුටු කොණ්ඩයේ රැළි හැර පීරන කල මොබයිලයා නොනවත්වා නාද වෙන්නට පටන් ගත්තේ දිලාගේ මුවට "චක්" යන ශබ්දය ද එක්කාසු කරමිනි. කව්ද යකෝ එපාර යනුවෙන් සිතමින් මොබයිලයාට ප්‍රතිචාර දෙන්නට වූයේ ගැහෙන දෙහෙන කම්මැලිකමිනි.

    ඉතාමත්ම භක්ත්‍යාදරයෙන් "හෙලෝ" යයි කියූ කල අනෙක් පසින් කලබල මධුර මනෝහර කටෝර වොයිස් එකකින් මෙසේ දෙසවනේ නින්නාද වුනි. "දිලා පුතේ අක්කට අමාරුයි ඇඩ්මිට් කලා ඉක්මනින් එන්න". ඒ අපේ ලොකුඅම්මා ය.

     කණ අයිනේ වෙඩි දහසක් පිපිරුණි. ඇයිද?කොහේද? කිසිවක් ඇසිමටවත් ඉඩක් නොලැබුණු අතර මට ක්‍රමයෙන් සියල්ල තේරුම් ගියේය. 
        
       අවසිහියක මහත.! 

     සුදු ඇත්පැටියෙකු නෙළුමක් සොඬින් ගෙන අප අක්කාගේ කුස වෙත සිහිනෙන් රිංගා තිබුනේ මීට නවමසකට පෙරය. වහා ක්‍රියාත්මක වූ දිලා පුරා හෝරා එකහමාරක් ඇතුළත ගම් නියම් ගම්  බලා ගමන් ගත වූයේ මහින්ද මාමිගේ අශ්චර්යයේ බල මහිමයෙන් ඉදිවූ අධිවේගී මාර්ගයෙනි.

    කොහොමින් කොහොමින් හෝ හොස්පිටිතාලය වෙත සේන්දු වූයේ දහවල් 12.50ටය. තුම්මුනින් දහඩිය පෙරාගෙන දිලා ලෝඩ් සේ ගේට්ටු පළුව තුලින් ඇතුළු වීමට දැරූ අසහාය උත්සාහය උපන්ගෙයිම ව්‍යර්ථ වූයේ හැඩි දැඩි සිකුරුටි කරුවෙකුගේ ග්‍රහණයෙනි.

      "කෝ පාස් .?" උන්දැගේ පැනය විය.

      "පාස් .?"

   මම අන්දුන් කුන්දුන් වුනෙමි. ලෝකයේ ලොකුම පුදුමය දුටු කල මෙන් මා සිටිනු දැක උන්දෑ තවත් ෆෝම් විය.

  "පාස් නැතිව කොහොමවත් යන්න දෙන්න බෑ. දන්නෙ නැත්ද මෙතන සිස්ටම් එක.? මොන ලෝකෙද ජිවත් වෙන්නෙ.? පාස් එකක් අරං එන්න නැතිනම් යන්න. ඔතන කොච්චර හිටියත් ඇතුලට යවන්නැ" 
   
     යනුවෙන් හතර අතේ ඔහුගේ පුචානම දොඩවන්නට විය. මගෙ රතුකට්ට "පරම තරහවේ කෝටියේ උපරිම සීමාවද" ඉක්මවා තිබුණි. මගේ ඇඟේ ලේ කෙමෙන් කෙමෙන් රත් වනු සහ කණ දෙපස තඩ් දඩ් යනුවෙන් ඇසෙනු මෙන්ම මුහුණේ මස්පිඬු දඟලන්නට විණි.

     කිසිම තෙතමනයක් නැති ඒ අසික්කිතයා තම නිළ ඇඳුමේ හයිය ගෙන මහා හඬින් එහි නාට්‍ය ඉදිරිපත් කරන අතර මගේ කට ළඟම නිල් කොටු කමිසයකින් සැරසී විරාජමාන වූයේ අන් කිසිවෙක්  නොව අපේ අක්කගේම පෙම්බර සැමියාය.

       අපේ අක්කගේ සැමියා නොහොත් මගේ මස්සිනා ලැමිනේට් කොරපු පටියක් දික් කර යාන්තම් දිලාව ගේට්ටුව ඇතුලට ඇද ගත්තේය. එසේ නොවන්නට දිලාගේ තරහව වචන වලින් පිට වූයේ නම් රෝහල් පොලිසියද ගේට්ටුව ගාව රැස් වනු නොඅනුමානය. ඈශ්චර්යමත් ආසියාවේ මගුල් අඹගෙඩිය ගැන සුපුරුදු පරිදි ඇතිවූ කම්පාවෙන් යුතුව මා ඉක්මන් ගමනින් පියමැන්නේ සුතිකාගාර වාට්ටු දෙසටය. ලෙඩුන් බලන වෙලාව අවසාන වීමට ළඟා වී තිබුනත් හති දමමින් අප ගොස් එක් ඇඳක් ළඟ නතර විනි.

     මගේ සිතේ සියළු දෝමනස්සයන් පහ වූයේ හිරු දුටු පිණිබිඳු වලටත් වඩා ඉක්මණිනි. ලොව ඇති දරුණුතම වේදනාව අභියස අසහාය සටනකින් අනතුරුව ලෝකයම දිනුවා සේ මගේ අක්කා කඳුළු අතරින් සිනාසෙමින් ඇඳ මත හාන්සි වී සිටියේ රෝසමලක් බඳු පුංචි පුතු පැටියෙක් ළමැදේ තියාගෙනය.

   ඔව් හිතවතුනි. දිලාගේ කට ඇරුණි. ඇස් ගැස්සුනි. හිනාවෙන්නද අඬන්නද කියාවත් නිනව්වක් නොවූ මම එහෙමම පහත් වී අක්කාගේ හිස සිඹගතිමි. නොනවත්වාම දෙනෙතින් ගලන සතුටු කඳුළු මැදින් මම පුංචි කිරිකැටියාවදෝතට අරගත් විට මට නැවතත් ඇසුනේ අසික්කිතම වොයිස් එකකින් 

 "ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි. ඇඳන් ළඟ වටවෙලා ඉන්න ඔක්කොමල්ල එලියට ගියොත් හොඳයි."

        ඉතිං මම ඉවසුවෙමි.අන් කිසිවක් නිසා නොවේ. ඒ පුංචි කුරුළු ඇස් දෙක ඇර මගේ දෙසම බලා ඉන්නා මලක් වැනි අපේ අක්කාගේ පණ නළමගේ දෑත මත වූ නිසාවෙන්මය.

    කමක් නැත. මේ ඉන්දියන් සාගරයේ ඇති අනර්ඝතම මුතුඇටයයි. එහි බබ්බුන් හැදීම සහ වැදීමටත් වඩා අපහසු කාර්යය වන්නේ උන් බැලීමය. දහසකුත් හැඟීම් හිත තුල තෙරපාගෙන නැවත එන අතරේත් මට යළි යලිත් මැවී පෙනුනේ මගේ අක්කාගේ කඳුළු අතරින් මතුවූ සිනාවත් කිරිකැටියාගේ මුවත් පමණක්මය. 

   ඉදින් මට දැන් ප්‍රමෝෂන් ලැබුණි.

   මේ සියළු අව් අස්සේ මා පුංචි අම්මා කෙනෙක් වූයේ එසේය.මේ සටහන තැබුයේ ඒ සොඳුරු මතකයට සැමරුමක් ලෙසිනි.රෝස දෙතොලක් හිමි මගේ පුංචි පුතේ මා නුඹේ මව නොවුනත් මා සදා නුඹට මෙළොව ආදරණියම පුංචි අම්මා වෙමි.

    නුඹ පුංචි පා පොඩිති තියා මගේ ආත්මයම හැඩ කරන දිනය වැඩි ඈතක නොවන බව නම් මම හොඳින්ම දනිමි. මම සැබවින්ම නුඹට ආදරය කරමි.
     


 
     

Wednesday, April 29, 2015

නුඹ නොවේ පළමු මල

නුහුරු කටු මත ඉපදුනේ නුඹ 
නපුරු බව දැනගෙන නොවේ 
සැලෙන නල කටු තුඩින් ඇනුනද 
නොහඬනා මල් කැකුළියේ 

විහඟ ගීයක සැදැහැ දෑතක 
නොගැටී පින්මද බොලදියේ 
කටුක දුක් කප්පරක් නුහුලන 
ගැහැනියක  දුටුවෙද ලොවේ 

සුළඟ ගෙන ආ සෙනෙහෙ පණිවිඩ 
බමරු වෙත ආපසු යවා 
උරණ හිරු හා පෙමින් බැඳුනද
ළපල්ලක මදහස පොවා 

රතුම රතු බිම පතිත පෙති මත 
කඳුළු බිඳු රැඳුනද මගේ 
කියමි කුමරිය මෙලෙස මියදුනු 
පළමු මල නම් නුඹ නොවේ........ 



Friday, March 27, 2015

"නෙළුම් යාය" ඔබ කල මෙහෙවර අගනා

සියපත අගක රැඳි මුතු පිනි බිඳු       සේම 
නෙතු අග රැඳුනි තුටු කඳුළැල් රැලි බෝම 
හමුවී දොඩා සොයුරන් මිතුදම්          රෑන 
මම සැනසුනා බ්ලොග් අඹරේදි මුළු   රෑම

පොඩි බස්සියෙක් ඇවිදින් මා වෙත   හනික 
නුඹ දිලිනිදැයි ඇසුවා හිනැහී              විගස  
දැනුනේ වෙන කිසිත් නොව නුඹ වත සේම
හරි ලස්සනයි හදවත සඳ තරු            සේම 

ඉවාන් මාතෙ කලණ මිතුරු ප්‍රා    දසයා
කරමින් විහිළු තහළුද සැම සිහි   කරලා 
මනා තත් වයා සැම කන්කළු      කරලා 
අපි තුටු උනේ සැමගේ දස්කම්   දැකලා

අතිනත පටලවා සුභ පතලා            දොඩලා 
උණුසුම් හාදුවක් දී දෙකොපුල    හැඩකරලා 
මේ මල් යාය විකසිත කරනට           බබලා 
"නෙළුම් යාය" ඔබ කල මෙහෙවර    අගනා 


Thursday, February 26, 2015

කව්රුද මට මා අහිමි කලේ ????

     හිමින් සීරුවේ මනියෙන් නොමිදුනු
සිනිඳු පියාපත් කුමුදු මලේ...... 
  සහස් ගව් දුරක් ඇවිද ඇවිත් නැත
දිවියම ලපටියි තවම සිතේ...... 
                          

      මනියෙන් මුක්තව සිනහ සලන විට
කව්රුද වනනා දෑත දිගේ.........
           පෙම් කඳ අරගෙන ඇයි දැයි නොදනිමි
         සළු එලු  යහනේ නෙතු වැසුනේ.......


වැව් තාවුල්ලට වැටී ඉපිර මල් 
රැයක් පහන් වන හෝරාවේ....
    ඔබට දයාබර නෙළුම් පතක් මත 
        පිණි  බිඳු වැකුණයි සිහින් සැරේ.... 



   ගත රස සොයමින් සිත දිවගෙන 
          පින්මද සෙනෙහස ලැබුනු වෙලේ..... 
හදාගන්න හිතකියාදෙන්න මට
කව්රුද මට මා අහිමි කලේ.....

නිමන්තිකා

Thursday, February 19, 2015

බබා පාත්තුව.....

                                   බබා  පාත්තුව.....



      සති අන්තයේ මා ගොඩ වූ බස්             රථයේ
      දුටු දසුනක් ඇත සුරැකිව ඇතුලු              ළයේ
      සවි කර තිබූ මළු රඳවන                 රාක්කයේ 
      කෙලවර කොක්ක හැඩවුනි පොඩි සපත්තුවේ


      මිරිවැඩියකි බිළිදියකගේ තෙමස්          වියේ 
      කැටයම් කර තිබුනි විසිතුරු නොයෙක් විධේ 
      එය දුටු සැණෙන් සිත රැදවුනි          අතීතයේ 
      සසැළුණු වැඩිද මන්දා කඳුළකිය          ඇහේ                        
                                                            

      මිහිරි මතක පිරි මා ගේ  ළ මා              වියේ
      මෙවැනිම දෙයක් සිහිවී සිත කිතිත්     කැවේ 
      ගමනක් ගොසින් යළි පැමිණිය විටදි    අනේ 
      අහිමිව තිබිණි මිරිවැඩියක් පුන්චි         මගේ 

     ''බබා පාත්තුව කෝ''විය පැනය          මගේ
      මවට අහිමි විය නිදහස විඩි න්           විඩේ 
      සොයමින් හතර අත දුවගොස් වත්ත  වටේ 
      හැඩු කඳුළින්ම නිදි දෙව්දුව වෙතට    ගියේ 

     
      අලුයම පිබිද පැමිණිල්ලකි පිය        හමුවේ 
    '' බබා පත්තුව නෑ මට ඕන                අනේ ''
     දිලිසුණි දෙනෙත් මා පින්බර මව්      පියගේ 
     නව මිරිවැඩි සඟලකි විසඳුම               වූයේ 

   
    ඔබෙත් මගේ මෙන් ඔය හිත       රිදුනාද 
    එසේ නොමැති නම් එයටත්    හිනැහුනිද
    අනෙක් මිරිවැඩිය තනි වී        වලපෙයිද
    නැතිනම් මගේ හිත සංවේදී           වැඩිද      
      නිමන්තිකා 

Wednesday, February 11, 2015

valentine's day පෙම්වතුන්ට විතරමද?



valentine's day නැත්නම් ආදරවන්තයින්ගේ දිනය යන්න අපේ රටේ සංස්කෘතිය තුල පැවති දෙයක් නොවුනත් ,මේ වගේ  බටහිර සංස්කෘතික දේවල් දැන් අපේ සමාජය තුලත් ව්‍යාප්ත වෙලා. කොයි දේකත් නරක පැත්තක් වගේම හොඳ පැත්තකුත් තියෙන නිසා ඕනම දේක හොඳ දේ ,අපට අදාළ දේ විතරක් ප්‍රයෝජනයට ගැනීමෙන් අපි අසාර්ථක වෙනවා කියල කවදාවත් කියන්න බෑ.හොඳට හිතල බලනකොට අද සමාජයේ තියෙන්නෙ හුඟක් කාර්යබහුල ජිවන රටාවක්. මේ ඇතුලෙ සැමියා බිරිඳ , පෙම්වතා පෙම්වතිය දෙමාපිය දූ දරු සබඳතාවය කියන දේ ඇත්තටම හීන වේගෙන යනවා. හැමෝම පිම්මෙ රැල්ලට දුවනවා. ඉතින් අපිට පුළුවන් නේද මේ කියන දවසේ පැය කිහිපයක් අපි ගැන හිතන්න වෙන් කරගන්න.පුද්ගලිකව මම නම් දරන මතය "ආදරය එක දවසකට සිමා විය යුතු නෑ" කියන එක.   නමුත්  වැඩ රාජකාරි එක්ක ඈත් වෙලා තියෙන බැඳීම් යළිත් ශක්තිමත් කරගන්න වෙච්ච අතපසුවීම් නිවැරදි කරගන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් නම් ඒක කොයිතරම් වටිනවද?

1.විවාපත් යුවලක් නම් ඒ දෙන්නට පුළුවනි තම තමන් එකිනෙකාට ආදරය ප්‍රකාෂ කරගන්න මේ දිනය යොදාගන්න.මෙතනදී සැමියා ,බිරිඳට පුළුවන් තමන්ගෙ සහකරු/සහකාරිය  අතින් සිදුවන අතපසුවීම් ,පුංචි පුංචි නෝක්කාඩු සියල්ල කතාකරලා ඒ සඳහා සමාව අයදින්න,සමාව දෙන්න අවස්ථාවක් කරගන්න. ඒ වගේම එකිනෙකාට ඇති ආදරය ප්‍රකාශ කරලා ඒ වැරදි අඩුපාඩු නිවැරදි කරගන්න පොරොන්දු දෙන්නත් පුළුවන්.

2.තනිකඩ කෙනෙක් නම් 
 "අයියෝ මම තවමත් තනිකඩයි" කියල මැසිවිලි කියමින් ඉන්නවට වඩා තමන්ගෙ දියුණුව වෙනුවෙන් කලයුතු නොකළයුතු දේ ගැන කල්පනා කරන්න මේ දවස යොදාගන්න පුළුවන්. තමන් වෙනුවෙන් පළමුව ආදරය ඇති කරගන්න. තමන්ගෙ මානසික සුවයට යමක් කරන්න,අරගන්න පුලුවන්.(ඔයා පොත් කියවන්න කැමති කෙනෙක් නම් පොතක්, සංගීතයට ලැදි කෙනෙක් නම් පොඩි i pod එකක්,සංගීත භාණ්ඩයක්, මේ මුකුත් නැත්නම් ඔයා ඇවිදින්න ප්‍රිය කරන කෙනෙක් නම් ලස්සන පළාතක පොඩි රවුමක් වගේ දෙයක් )තමන් අත්හරින්න ඕන නරක පුරුදු සහ තමන් අලුතෙන් ජිවිතේට එකතු කරගන්න ඕන කියල හිතෙන දේවල් ලිස්ට් එකක් හදල ඒ වෙනුවෙන් කැපවෙන්න.පුංචි පුංචි වැරදි හදාගන්න. එතකොට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඔයා සාර්ථක වෙනකොට ඔයා හොයන ආදරේ ඔයා ලඟට අනිවාර්යෙන්ම එයි.

3.දරුවො ඉන්න දෙමව්පියන් නම්,
එයාලව සහභාගී කරගෙන පුංචි සාකච්චාවක් කරන්න.එහිදී එයාල වෙනුවෙන් දෙමව්පියො විදියට ඔයාල කොයිතරම් කැපවෙනවද? ඒ වෙනුවෙන් දරුවොන්ගෙන් මොනවගේ සහයෝගයක් අවශ්‍යද?දරුවන් පිළිබඳව ඔයාලගෙ හිත්වල තියෙන සිහිනය මොනවගේද? දරුවන්ගේ හිත් තුල කොයි වගේ සිහින ඇතිද වගේ කාරනා මේ  සාකච්චාවට ඇතුලත් කරගන්න. එකිනෙකාට තියෙන ආදරය ගැඹුරින් ප්‍රකාශ කරගන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න අමතක කරන්න එපා.


4.මිතුරු මිතුරියන් සමග සමාගමය ශක්තිමත් කරගන්න මේ දවස යොදාගන්න පුළුවනි.
තමන්ගෙ හොඳම මිතුරා ඔබේ සුරතලා වෙන්න පුළුවන්. කාර්යබහුල කම නිසා ඔහුව ඔබට මගහැරුනා වෙන්න පුළුවන්. නමුත් ඔයාට මේ දවසෙදි ඔහු එක්ක ඇවිදින්න යන්න,ඔහු සමග කාලය ගතකරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඔහු කැමති විශේෂ  කෑම වේලකින් ඔහුට පුංචි සංග්‍රහයක් කරන්න. ඔහුව කොයිතරම් ඔයාගේ ජිවිතයට සමිපද කියා ඔහුට අඟවන්න.

5. පරිසරය කෙරෙත් ආදරය ඇතිකරගමුද?
මේ වෙනුවෙන් ඔයාට පුලුවන් පැලයක්  සිටවන්න. අපවිත්‍ර වෙලා තියෙන තැනක් ශුද්ධ පවිත්‍ර කරන්න,තමන්ගේ ගෙවත්තේ එලවළු / පළතුරු පැල කිහිපයක්  වගාකරන්න. ඒ වගේම ඒ දේ නඩත්තුව වෙනුවෙන් ඉදිරියේදී කාල කළමනාකරණය කරගන්න අධිෂ්ඨාන කරගන්න.ඔයාට ඒක මානසික සුවයටත් හේතුවක් හේතු වෙයි. ඒ වගේම සමාජයට/ ලෝකයටම සෙතක් වෙයි.

ඉතිං මං මේ කිව්වේ මට හිතුන පුංචි කරුණු 5ක් විතරයි.අවශ්‍ය වෙන්නේ වෙනස්ව සිතීම සහ ක්‍රියාවට නැංවීම පමණයි.පුංචි දේවල් වලිනුත් ලොකු වෙනසක් කරන්න පුළුවන්.එහෙනම් ඔයාලටත් Happy valentine's day! 

Monday, January 5, 2015

ඕo වැඩේ... මමත් සම්මානයක් දිනලලු




          බ්ලොග් කලාව ගැන මෙලෝහසරක් නොදැන ඉඳපු මං මේ කලාවට පිවිසුනේ අහම්බෙන්. කරමින් ඉඳපු රැකියාවට සමුදීල පාළුව දුක දරන් තනියම දවස් ගෙවාගන්න බැරිව ලතවෙද්දී කෙනෙක් මට හරි අපූරු ලින්කුවක් එව්ව. ඒක අදටත් මම book mark කරගෙන ඉන්නව. ඒ වෙන මොකක්වත් නෙවෙයි "බස්සිගේ නවාතැන". ඉතිං බස්සියෝ ඔයාගේ නවාතැන මගෙ ජිවිතේට හුගක් සමීප උනා. ඒ වගේම ඒ හරහා තවත් බ්ලොග් හඳුනාගන්න ලැබුන. හුගක් දේවල් රසවින්ද, ඉගෙනගත්ත. ඔය අතරෙදි ඒ පුද්ගලය හරිම වැදගත් යෝජනාවක් කලා මට. ඔව් ඒ තමයි පොත් ඇතුලේ හැංගිලා තියෙන මගේ නිර්මාණ ටික කාටත් බලන්න පුළුවන් විදියට කරළියට ගෙන ඒම. ඒ තමයි මගේ නිර්මාණ වලට යම් වටිනාකමක් තියෙනව කියල දැකපු පළමු පුද්ගලයා. ඉතිං ඒ යෝජනාවේ ප්‍රතිපලයක් විදියට මම "දිලාගේ ලෝකය"කියල බ්ලොග්ගුවක් හදාගත්ත. කොහොමින් කොහොම හරි දිලාගේ ලෝකයට blog මිත්‍රයෙක් කියලා හා හා පුරා කියල ගොඩවැදුනේ අවන්හළේ "මහේෂ් රත්නායක". ඒ ඇවිත් දාපු කොමෙන්ටුව මට ලොකු සතුටක් උනා.. ඉන් පස්සෙ මාතලන් මාම ( ඔරවන්ට කාරි නැතුවා ) ප්‍රියා අයියා, වර්ණ ලියන දිනේෂ් උමගිලිය අයියා, කුරුටු ගෑ ගී පව්ර හුදකලා රස්තියාදුවේ සංචා, දේශා, ඉවාන්, සඳුමල්, සිංදු ඇනෝ  යන හැමෝම මට කොමෙන්ටු දමමින් දිරිමත් කලා. පටන් ගත්තු දවස් වල ඉඳන් මේ දක්වාම දිලාගේ ලෝකයට ගොඩවැදුණු "මහී" අයියට හුගක් ගරු කරනවා. ඒ වගේම මාතේ මාම මාතලන්ගේ සිංඩියට දිලාගේ ලෝකය ඇතුලත් කරන්න ඉඩ දීලා දුන්නේ සුළුපටු සහයෝගයක් නෙවි. මම දන්නව තවමත් මම ආධුනිකයි. නමුත් මගෙ කවි නිසදසකට මේ තරම් අගයක් දීපු ලංකා නිව්ස් වෙබ් අඩවියේ නෙළුම් යායේ සහෝදර හැමෝටමත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ සඳහා මගේ බ්ලොගය හඳුන්වල දීපු අජිත් ධර්ම අයියටත් බොහෝම තුති.

          මේක පුංචි දෙයක් උනත් මට මෙහෙම අවස්ථාවක් ලැබුන එක ගැන හරි අහිංසක සතුටක් හදවතේ තියෙනව. මේක මට හුගක් වටිනව. මේකෙ ප්‍රවීණයෝ අධුනිකයොන්ට නොමසුරුව අතහිත දීම පුදුම තරම් ශක්තියක්. ඉතිං මම ඉදිරියටත් ලියනව. අඩුපාඩු පෙන්වාදීම ඔබ හැමෝම සතු යුතුකමක්.. තව දෙයක්, මේ හැමදේම පිටුපස දිළිසෙන ඇස් දෙකක් ඉන්නවා.ඒ කෙනාට මගෙ මේ හැම ගෞරවයක්ම සතුටක්ම ලබාදෙන්න ඕන.

               අවසානයේදී කියන්න තියෙන්නෙ මාතලන් මාමේ, බස්සි අක්කේ ඔයාල බ්ලොග් කලාවට මට අත්පොත් තිබ්බ. ඒ වගේම මහි අයිය, ප්‍රියා අයිය, දිනේෂ් අයි, සංචා, අටම්පහුරෙ ඉඩ දීපු අටම් අයිය මේ හැමෝමත් මගෙ පිටුපසින් ඉඳන් මාව දිරිමත් කරපු මගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියොත් (බට්ටා ඇතුළු) දිලාගේ ලෝකයට ගොඩවැදුන ඔයාල හැමෝටමත් ජයෙන් ජයම වේවා!!