Wednesday, May 20, 2015

නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න...

රoග..,
          ඔව් ඔයාගේ දුඹුරුපාට බළල් ඇස් අදටත් ඔයා එනකම් මග බලං ඉන්නව. දැන් ඔයාගේ පුංචි දෝණිට අවු;6 ක් වෙනවා. ඒ කියන්නෙ ඔයා "නිවාඩු අරං" ඒ හා සමාන කාලයක් වෙනව. අදත් යුධ ජයග්‍රහණ සමරුව. වෙනද තරම්ම ජයට නෙවි ලු. සමරු උත්සවේට එන්න කියල ආරාධනාත් ලැබුන. මං ඔයාගේ අම්මව  යවල පුරුදු විදියට ඔයාගේ සුදුබෝලේ වඩාගෙන කුඹුක් ගහ ලඟට ආව. ඔව් ඔව් ළමයෝ ..,
 
       ඔයා ඉස්සර ලෝකෙටම හොරා මට රහස් කියපු තැන.
       අපි දෙන්නගේ පළමු හාදුව හුවමාරු වුන තැන.
     
    ඒ කාලේ දැන් වගේ නෙවෙයි. මං පොඩි කෙල්ලෙක්. ඔයා ගැන මං මගෙ යාළුවො එක්ක කතා කලේ හරිම ආඩම්බරෙන්. ආමි කොල්ලෙක් එක්කයි  යාළු කිව්වම පවුලේ ඔක්කොම විරුද්ධ උනත් මට නම් ඊට වඩා වීරකමක් තිබුනෙ නෑ.
 
       මතකද ඉස්සර ඔයා නිවාඩු ආවම.? අපි කොහේ කොහේ යනවද.? පංති කට් කලේ ඉගෙන ගන්න ආසාවක් නැතුව නෙවේ. ඔයා එක්ක ඉන්න ඊට වඩා ආස වුන නිසා. ඒ ආපු හැම දවසකම අපි එක ප්‍රශ්නයක් ළඟ නතර උනා. අපේ සම්බන්දෙට විරුද්ධ වුන හැමෝටම, ත්‍රස්තවදියෙකුටවත් බය නොවුන ඔයා බය උනා. ඒකෙ ප්‍රතිපලයක් විදියට ඔයා වන්නි සටනට යන්න කලින් දවසේ ලෝකේ කාටත් හොරා අපි අපේම උනා . පුරුදු විදියටම ඔයාගේ කකුල් අල්ලලා වැඳ වැටුන මං දිහා බලං කවදාවත් නැති විදියට ඔයා ඇඬුව.....

       ඔයා අන්තිමට මට ලියපු ලියුමෙ තිබුනෙ රොෂාන්ගේ ප්‍රසිද්ධ සින්දුවක්. "නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න..."  ඒ ඔයා ගිහින් මාස 3කට පස්සෙ. ඒ වෙද්දී ඔයාගේ දූ පැටියට මාස 3ක් කියල දොස්තර කිව්ව. ගමේ මිනිස්සු කියන කතා, ගෙදරින් ගුටිකාපුව, කිසිම දෙයක් මං ඔයාට ලීවේ නෑ. ලියපු එකම දේ "ඉක්මනින්ම මගුල් මුද්දත් අරං එන්න. අම්මලාව මං කැමති කරගත්ත" කියන එක විතරයි.

       ඔයා නිවාඩුවක් අරං ආව. හැබැයි ගියපු විදියට නම් නෙවෙයි. ඔයාගේ බඩුටික භාර දීපු අයිය  රතුපාට පෙට්ටියක දාපු මගෙ මගුල් මුද්ද දීල වහළේ උළු ගණන් කරපු වෙලාවෙ මට ඇහිපිය ගහන්න වත් අමතක උනා. දෝණිගේ සුදු තාත්තිය දෝණිව නොදැකම සදහටම නිවාඩු අරං තිබුන.

            දින, සති, මාස, අවරුදු ගණන් ගෙවුන. දැන් හුඟක් අයට ඔයාව අමතකයි. ඔයාගේ බඩු ටික තවම පරිස්සමට තියෙනව. හරියට කෞතුක වස්තු වගේ. ඒ අස්සේ ඔයා ඉස්සර මගෙ දිග කොන්ඩගස් අරං ගියපුව හරි ආදරෙන් ලේන්සුවක ඔතල ඔයාගේ බෑග් එකේ ඔයා දාපු විදියටම තියෙනව. ඔයා ආස කරපු දිගම දිග කොණ්ඩෙට, ඔයා අයිති කරන් හිටපු බෝල බළල් ඇස් වලට, හුඟක් අය කැමති උනා. ඒත් මං කොහොමද ඒව තව කෙනෙකුට දෙන්නෙ.? ඒ හැමදේම අයිති ඔයාට වෙච්චිකොට...


     දෝණිගේ හැම උපන්දිනේකටම මං "රණවිරු ස්මාරකය" ගාවට ගිහිං ඔයාගේ නම පෙන්නනවා. උප්පැන්නට ඔය නම නොදුන්නට ආත්මෙන් එයාගේ තාත්ත ඔයා. ලෝකයා මොනවා කිව්වත් මේ ටික නම් ඔයාට කියන්නම වෙනව. දූ ඔයාව හොයත්දී මං හරිම අසරණ වෙනව. දැන් නං එයාටත් ටිකක් තේරෙනව. මොනව උනත් අපේ ආදරේ වෙනුවෙන් ඒ හැමදේම මං ඉවසනව.

         ඔයා කිව්වා වගේ මේ දිග කොණ්ඩෙට මං හැමදාම තෙල් ගාල ගොතනව. ඈත අහසේ හැමදාම දිළිසෙන තරුවක් වෙලා ඔයා මගෙ ළග ඉන්නව කියල මං දන්නව. ඒ තරුවෙන් බැහැල ඇවිත් කුඹුක් ගහ ලඟදි මට දෙන හාදුව ඉල්ල ගන්න මං හැමදාම හවසට එතනට එනව.

       දැන් දුව ටිකක් ලොකුයි. ඔයාගේ කපාපු පළුව. කට කොනින් ඔයා දාන හිනාව ඒ විදියටම එයාටත් තියෙනව.
      ඔයාව අනිත් කාට නැතත් මට සදාකල් මගේ ලෝකේ වීරය. ඔයාල වගේ අය නිසා අද මේ හැමෝම නිදහසේ ජිවත් වෙනව.ඔයාගේ ආදරයේ වටිනාම මතක සැමරුම ජිවිතේ දෙවනි කරල මං පරිස්සමට හදනව..

         දිළිසෙන තරුවක් වෙලා හරිම පරිස්සමට ඔයා ඉන්න.

මේ ඔයාගෙම 
සීදේවි....




(අවාසනාවට තවත් ඇත්ත කතාවකි.)     

33 comments:

  1. අවාසනාවට උනත් රටේ ලෝකේ අනන්ත්වත් ඇති කතාවකි...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත දේශා...

      Delete
  2. සුන්දර නමුත් දුක දැනුණ කතාවක්.... දිළිණි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පව්රේ ... මොනව කරන්නද ?

      Delete
  3. අවාසනාවට ඇත්ත කතාවක්... ඒ කියපු චරිතය තුල (ආමි කොල්ලගෙ) විනාඩි කීපයකට ජීවත්වුනා මං..

    ReplyDelete
    Replies
    1. ඔබට දැනුන දේ හිතාගන්න පුළුවන්.

      Delete
  4. හරිම සංවේදී කතාවක්. මේවගේ කතා වලින් කියන සිද්දි අපේ රටේ කීයක්නම් ඇත්ද. නියමයි දිලා. හොඳට ඇඟට දැනෙන්න ලියල තියෙනවා.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනා...
      //හොඳට ඇඟට දැනෙන්න ලියල තියෙනවා//
      එහෙනම් මම සාර්ථකයි කියල හිතෙනවා . ජයවේවා !!

      Delete
  5. අවාසනාවට ඇත්ත කතාවක්.. මන්දා මොනවා කියන්නද කියලා..

    ReplyDelete
    Replies
    1. හිතෙන දෙයක් කියන්න දිනේෂ් අයියේ . ඔයා වගේම අපි බහුතරයක් දෙනා නිරුත්තර වෙන තැනක් තමයි .

      Delete
  6. ඉතාම සංවේදීයි වගේම මෙහෙම පවුල් කීයක් මේ රටේ තනිවුණාද සදහටම? විශේෂයෙන් මව්වරු, බිරින්දෑවරු සහ දියණියන්. ඔවුන්ට සෙවන දුන් මහා වෘක්ෂය අහිමි කාන්තාරෙක ඔවුන් මොනතරම් අනාරක්ෂිතද?

    දිලිනි මේකත් බලන්න හැකි වෙලාවක.
    http://madhumadhavi135.blogspot.com/2015/05/blog-post_21.html

    ReplyDelete
    Replies
    1. මං බැලුවා .බොහොම ස්තුතියි ලින්කුවට.ඇස් තෙත් උනා මාධවී අනර්ඝයි.. පුදුම සංවේදියි.

      Delete
  7. හුඟක් සංවේදීව දැනුනා ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානියෝ . මේ වචන මට හැමදාමත් හයියක් .

      Delete
  8. විශේෂයෙන් කියල මොකුත් ලියා ගන්න අමාරුයි.. කියවලා ගොඩාක් වෙලා ස්ක්‍රීන් එක දිහා බලං හිටියා.. ගිහින් එන්නම්.

    ReplyDelete
    Replies
    1. හපොයි ඒ මොකද ඒ... කළණේ කවදත් මට අඩුපාඩු හදාගන්න උපදෙස් දුන්නු ජේෂ්ඨයෙක්. ලිවිල්ල හොඳ නැතිද ? හදාගන්න තැන් තියේද කියලවත් කිව්වනම් නේද හොඳ .

      Delete
    2. උඹට පිස්සු.. මට මගේ අතීතේ මතක් උනා.. දිගම්පතන බෝම්බේ පුපුරලා දවස් දෙක තුනකින් මට ගාල්ලේ ඉඳල ට්‍රින්කො වල ඩෝරා එකකට යන්න මාරුවීමක් ලැබුනා. ඒක අහල මගේ නෝනාට සිහිය නැති උනා. එතකොට දුවට දවස් දා හතරයි වයස..

      Delete
    3. බුදු අම්මෝ.. ඇඟේ හීගඩු පිපුණ. උඹේ නෝනා සිහිනැති වෙලා ඉතුරු උනා ඇති එවෙලේ. මං වගේ උනා නම් ඉවරයි.

      Delete
  9. යුද්ධය නිසා සතුටු වූ කිසිදු ජිවිතයක් මිහිපිට දකින්නන හරිම අමාරුයි . දිනු යුද්ධයක සැගවුන, අමිහිරි, නොපෙනෙන යතාර්ථය මෙයයි.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට. තිත්ත උනත් සහතික ඇත්තත් ඕකම තමයි ගයාන් අයියේ.

      Delete
  10. අතිශය සංවේදී කතාවක් දීලා.... කියන්න වචන නෑ...

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි සජ්ජා..

      Delete
  11. රංගට නෙවෙයි වෙඩි වැදුනෙ මට දිලිනි. නියමයි ලියපං දිගටම

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි කිචී. මේ වචන ලොකු හයියක් .

      Delete
  12. අනන්ත කතාවන් ගොඩක් ඇති
    අහල අහල එපා වෙලත් ඇති
    ඒ වුණත් කවමදාවත්
    නා ඉන්න බැරි වෙන්න ඇති

    අඩන්නෙ උංවිතරක් නෙවෙයි
    දැනෙන්නෙ උංට විතරක් නෙවෙයි
    ඒ වුණත් රිදෙන්නෙ උංට විතරයි

    කියන්න කතාවක් තියෙනව ඒ ගැන කියන්න මෙතන හොදයි ඒත් අමතක වෙන්න ඕන දේවල් අමතක කරන්න ඕන මචී...
    හිත රිද්දුව උඹ

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් බං . යුධ ජයග්‍රහණය සැමරුවට ඒ නිසා අසරණ වුන අහිංසකයෝ හැමදාමත් තමන්ගෙ හැඟීම් , ජිවිත එක්ක යුද්ධ කරනවා කියන්නයි මට ඕන උනේ .

      Delete
  13. මම දැකපු ලස්සනම Article එකක්, ගොඩාක් සංවේදියි දිලා අක්කේ
    මම ඇත්තටම සිදේවි චරිතය මනසින් ගොඩ නැගුවා, Screen එක දිහා බලං ටිකක් නෙවෙයි ගොඩාක් වෙලා හිටියා. අපිත් මේ වගේ කොච්චර භයානක කාලයක හිටියා නේද? ඇත්තටම අපේ මිනිස්සුන්ට අමතක වෙලා ගිය ඒ අතිතය, ඒ කුරිරු යුද්ධය ආයෙත් මතක් උනා මේක කියව්වට පස්සේ. දිගටම ලියන්න දිලා අක්කේ. ගොඩාක් ලස්සනයි ඔයාගේ Articles . මගේ හිතේ මැවුන අදහසක් නිකමට වගේ අන්තර්ජාලයෙන් හොයන කොට අහම්බෙන් මට අහු උන මේ බ්ලොග් එක කොච්චර වටිනවද , මගේ හිතට ආපු අදහස් ඒ විදියටම ඔයා වචන වලට ගලපලා තිබුනා. ඇත්තටම එදා ඉදන් තමයි මම ඔයාට comments දාන්න ගත්තේ.එදා ඉදන් මම මොන තරම් මට වැඩ තිබුනත් සතියකට සැරයක් ඔයාගේ Blog එක බලනවා අක්ක. දිගටම ලියන්න මගේ සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... බොහොම ස්තුතියි නංග. හැමදාමත් දිලාගේ ලෝකය එක්ක ඉන්න. ඔයාල හැමෝම මට ලොකු හයියක්.

      Delete
  14. දුක හිතෙන තවත් එක කතාවක් දිලා. මේ ලඟදි දොස්තරක් හම්බ වෙන්න ගිහිල්ල ඉඳන් ඉන්නවා. අවුරුදු දෙකක විතර පොඩි දු පැටියෙක් එහාට මෙහාට දුවනවා. මම විතරය් ළඟ වගේ හිටියේ. මට බෝනික්ක දෙනවා. දුවනවා. හිනාවෙනවා. මාත් ඉතින් හින් වීගෙන හිටිය. පොඩි එකා ට හරිම සතුටුයි. මම කතා කරපු එකට. බෝනික්ක එය එනකන් තියාගෙන හිටිය එකට. එක පාරටම පොඩි එකා මගේ මුණ බලං ඩඩි කියපි, කියල එයාගෙ අම්මගේ මුණ දිහා බැලුව.. කෙල්ලගේ අම්මගේ මුණ රතු වෙල. ඒ වෙලාවෙම දොස්තරත් කතා කලා. අර අම්ම හෙමින් මිමිනුව "එයාට තාත්තා කෙනෙක් නැහැ. පිරිමි කෙනෙක් හිනා වෙලා කතා කලොත් එයත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කලොත් එයාට තාත්තා කියල කියනව. "

    ReplyDelete
    Replies
    1. ඔය වගේ අතිශය සංවේදී කතා කොයි තරම් මේ ලෝකේ තියෙනවද අජිත් සහෝ.. මොනවා උනත් ඔයා ලොකු පිනක් එකතු කරන් තියෙනවා .කරුණාවෙන් හිනාවෙලා.:)

      Delete
  15. දුකයි ඒත් ඇත්තයි

    ReplyDelete