Tuesday, May 12, 2015

සීවලී යන්ත්‍රය

"සීවලී රුව තිබෙන ගෙයි නම් 
බතින් කිසිවිට නොවේ අඩුවක් "

මසැසින් දුටුවිට සීවලී හිමි රුව 
මනසට නැගුනේ පෙර ඒ කී බණ 
සත්‍යක්මද?
පසක් කරගන්නට සිතුනි මට 
නමුත් පෙනෙනා පරිදි නම් ,


පියෙකු දුක්වී හෙළු කඳුළැල් 
දෑත මත කහවණුව හැරුණේ 
ලැබුණු කහවණු ගෙදර වළඳේ
බතක් වී කුසගින්න නිවුණේ...

පියෙකු නැති කළ කාසි ලැබුවට 
මවක නැති කළ උයා පිහුවට
ගෙදර ඇති සීවලී හිමිසඳ 
කන්ට දුනිදැයි නොඒ මතකෙට 

පොළව මත පය තබා කදිමට 
වෙහෙස වී දිවි ගෙවන තරමට 
යසස් ලැබිලා කුසත් පිරිලා 
දිවිගෙවන්නට හැකිය සදහට 

දෑත බුද්ධිය
වෙහෙසා තම 
දිරිය ගෙන කල් ගෙවන තරමට 
ලොවේ ඇති නැති බෝ දනන් හට
හැකිය තම කුස පුරව ගන්නට 
ඇතත් නැතුවත් විරාජමානව 
බබලෙත් සීවලී රුව 
ගෙදර බිත මත 




 
 

35 comments:

  1. ධාතු වඳින හරක් ඉන්න රටක් නේ...

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ මාතේ මාමේ .. අන්ධ භක්තියෙන් පිරිලා මිනිස්සුන්ගේ ඔළුගෙඩි .

      Delete
    2. with all due respect "විරුද්ධයි!!!!!"

      Delete
    3. සජ්ජා be cool මචෝ ...:)

      Delete
  2. භෞතිකවාදයේ අග්‍ර ඵලය
    හිහි
    අපූරුයි දිලිනි....
    මාක්ස් කීව වගේ මිනිස්සු පරාරෝපණය වෙලා ඉන්නෙ
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහී :)
      මේවා කවද තේරුම් ගනීවිද අපේ අය..

      Delete
  3. මේවා දැං ටිකක් අඩුයි..

    ReplyDelete
    Replies
    1. ඔව් සෑහෙන දුරට අඩු උනත් දැන් වෙන වෙනස් විධියට අන්ධ භක්තිය හිස ඔසවන බව පේනවා .:)

      Delete
    2. ඒක අන්ධ බත්තිය නෙමෙයි බං මෝඩකම...

      Delete
  4. දීලා.. ඇත්ත. සීවලී රූපයට බෑ කාටවත් කන්න බොන්න දෙන්න. ඔය හැම දෙයක්ම විමලරත්න කුමාරයම තියරියෙන් බලන්න ඕන. "මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම"
    හැබැයි මෙහෙමත් එකක් තියනවා. බෞද්ධයො විදියට බෞද්ධ දර්ශනය අනුව ජීවත් වෙන්න පන්සල් යන්නම ඕන නෑ, බෝධි වටේ යන්නම ඕන නෑ, වෙසක් කූඩු හදන්න ඕන නෑ, දන්සැල් දෙන්න ඕන නෑ, සීවලී පින්තුර ගහන්න ඕන නෑ, සාර්ලිස්ගේ චිත්‍ර බිත්ති වල ගහන් ඉන්න ඕන නෑ. අඩුගානෙ පන්සිල් ගන්න ඕනත් නෑ. හැබැයි එක දෙයක්. පොඩි කාලේ ඉඳන්ම ඔය කියපු දේවල් හැම එකක්ම කරපු නිසා සහ ඒ පරිසරයට හුරු වීම නිසා තමයි ආගමික හැගීම අපේ හිත් වල ධාරණය වෙලා තියෙන්නෙ. ඒ නිසා ඒ දේවල් හෙලාදකින්නත් හොඳ නෑ. කරදඬු උස මහත් වෙලා හොඳ නරක තේරෙන කාලෙ ආවම "පන්සිල් ගන්න එක පිස්සු, පන්සල් යන එක විකාරයක්, සීවලී පිංතූරේ අහවල් එකටද? අපි බුද්ධ දර්ශනය අනුව ජීවත් උනාම හරිනේ " කියල කියන්න පුළුවන්. එක හැබෑව. හැබැයි ඒ බුද්ධ දර්ශනය ඔලුවෙ පැලපදියම් වෙන්නෙ අර මුලින් කියපු කාරණා පොඩි කාලේ ඉඳන් දැක,දැන සහ කල පුරුද්ද නිසාවට. දර්ශණයක් විදියටේ ඒකෙ හරය දැකල පැහැදිලා ආගමකට නැඹුරු වෙන කාලෙක නෙවෙයි අපි ඉන්නෙ. එහෙම වෙනවා නම් එහෙම වෙන උදවිය ඉතාම සුළු පිරිසක්.
    දීලා මේකෙන් කියන්න අදහස් කල දේ ගැන කිසිම තර්කයක් නෑ. සීවලී පිංතූරෙන් කාටවත් කන්න හම්බවෙන්නෙ නෑ. හැබැයි එහෙමයි කියල කිසිවෙකුටත් හානියක් නොවෙන, තමුන්ගෙ විශ්වාසය පදනම් කරගෙන ආගමේ නාමෙන් කරන දේවල් හෙළාදකින්න කාටවත් කිසිම අයිතියක් නෑ.
    මනස සියලු දේට පෙරටුව ගමන් කරයි.

    ReplyDelete
    Replies
    1. සජ්ජා මම මෙතනදී කොහොමවත් බුද්ධ දර්ශනය ගැනවත් බෞධ්දයන්ට වත් පහරගැසිමක් හෝ හෙළා දැකීමක් කරන්න හිතුවෙ නෑ. මමත් බෞද්ධයෙක්. මෙතනදී අදහස් කරන්න ඕන උනේ විශ්වාසනීයතත්වයෙන් පොළවේ පයගහල ජිවත් විය යුතු බවත් "ඇදහිලි විශ්වාස' තමන්ගෙ ගමනට ශක්තියක් එකතු කරගන්න කියන එකත්. අනික බුදුරජාණන්වහන්සේ ගේ දර්ශනය අනුව කියල තියෙන්නෙත් කව්රුවත් කියන පලියට අසන දකින පළියට කිසිවක් හෝ කිසිවෙක් විස්වාස නොකරන්න.තම නුවණින් විමසා බලා කටයුතු කරන්න කියලනේ.. ඒ අනුව මමත් විමසීමක් කරලා බැලුවා.පිලි ගැනීම නොගැනීම ඒ ඒ පුද්ගලයා සතු දෙයක් සජ්ජෝ. මම කවදාවත් කිසිම ආගමකට ගරහන්නේ නෑ.හැබැයි අන්ධ භක්තියෙන් කරන වැඩ ගැන පැහදිමකුත් නෑ.අනික සීවලී පින්තුරය එල්ලගෙන නිකම් හිටියට අපිට කන්න ලැබෙන්නෙත් නෑ.බොහොම අගය කරනවා ඔබේ වටිනා අදහස් දැක්වීම.

      Delete
    2. සජ්ජගේ කතාව සහතික ඇත්ත... . . අපේ සින්හලය විතරද මන්ද අපේ දේටම ගරහන්නෙ...

      Delete
    3. දීලා කියපු දේ ඇත්ත. ඒ හැම දෙයක්ම තාර්කිකයි සහ මගේ අදහසත් ඕකම තමයි. ලඟදි දවසක යාලුවෙක් එක්ක රැඩිකල් විදියට ඔය සංවාදයක් කරද්දී මම දැනුත් ඉන්න මතය වෙච්ච "බෝධිපූජා තියන එක, ධාතු බලන්න යන එක, දැන් මෙතන කිව්වා වගේ සීවලී පිංතූර ගහගෙන ඉන්න එක " වගේ බාහිර දේවල් හෙළාදැකල බොහොම තදට කතාකලා. දැනටත් මම ඉන්නෙ ඒ දේවල් වලට විරුද්ධ මතවාදයක. හැබැයි අරූ එවේලේ කිව්වා දේවල් වලට මට ඇඩ්‍රස් නැති උනා. ඌ කිව්වා "උඹ පොඩි කාලේ පන්සල් ගියෙ නැත්තං, දැන් බොරු කියල කියන ජාතක කතා ඇහුවෙ කියෙව්වේ නැත්තං, බෝධිය වටේ රවුං ගැහුවෙ නැත්තං අද උඹ බොහොම තාර්කිකව අනිත් අයත් එක්ක කතා කරන බෞද්ධ දර්ශනය උඹ ඉගෙනගන්නවද? ඒ දර්ශනයෙ ඉගැන්වීම් වලට අනුව ජීවත් වෙන්න වත් ආගම උඹේ ඔලුවට කාවදිනවද? " කියල. මට කටඋත්තර නැති උනා. ඒ දේවල් ගැඹුරුවට හිතල අපි බෞද්ධ දර්ශනය අනුව ජීවිත හැඩගස්සගත්තට ඒ දේවල් වල මූලික අඩිතාලම අර දේවල්. අපිට දරුවෙක් ලැබුනම ඒ දරුවව අපි පන්සල් එක්කගෙන යනවද? ජාතක කතා උගන්නනවද? ධාතු වලට වඳින්න එපා කියනවද? බෝධි වටේ යවන්න එපාද? කියන ප්‍රශ්නේ ආවොත් මොකද දීලා කියන්නෙ? අපි දැන් හිතන විදියට හිතල පොඩි එකාට ඒ විදියට ඒ දේවල් ඔළුවට දැම්මොත් ඌ අපේ ආගම සහ ඒ දේවල් ඔලුවට දාගනීද? අපේ තාත්තා තනිකර මම හිතන විදියට හිතුවේ ඒ දවස් වලත්. ඒත් කවදාවත් පොඩි කාලේ ඒ දේවල් කරන්න එපා කිව්වෙ නෑ. අපිට තේරුම් යනකොට අනවශ්‍ය දේවල් හලලා හරය ඔලුවට ගන්නවා. හැබැයි එහෙමයි කියල හරයාම විතරක් ඔලුවෙ තියාගෙන ඉන්න පිරිසක් බිහි උනාමයි කියමුකෝ. ඒත් බෑ ආගමකට ඉදිරියට යන්න.පවතින්න. ඊට ආගමික ප්‍රබෝධයක් තිබිය යුතුයි. පන්සල් ලොකුවට හැදෙන්න ඕන, පෙරහැර වල පවත්වන්න ඕන, බෝධි පූජා තියන්න ඕන, පිච්චමල් පූජා තියෙන්න ඕන. ආගමක බොරු ෂෝ තියෙන්න අවශ්‍යයි. ඒ දේවල් වලින් ආගම වෙත නැඹුරු කරගැනීමෙන් ආගමික දර්ශනය ඔලු වලට දාන්න පුළුවන් වෙන්නෙ. ඒකයි මම මේ දේවල් කිව්වෙ.
      නිර්මාණය අපූරුයි. ඕකත් මගේ ඇදහිල්ලම තමයි. අවශ්‍ය පුද්ගලයාට ඔව්ව කරන්න පුළුවන්. ඇත්තටම මේ දේවල් කිව්වෙ මේ සම්බන්ධ සංවාදයක් ඇතිකරන්න මිසක් වෙන දෙකට හෝ දිලාගේ අයිඩියාවට ගහන්න හිතාගෙන නෙවෙයි. මෙහෙම පැත්තකුත් තියනවා කියන්න. අයෙමත් කිව්වොත් මගේ අයිඩියාවත් ඕකම තමයි. ජයවේවා..

      Delete
    4. අනේ අපි ඉතරක් නෙමෙයි අනේ.. යුරෝපේ පල්ලි ටක මේන්ටේන් කර ගන්නේ ටුවරිස්ට්ලට පෙන්නලා.. මිනිස්සු පල්ලි එන්නේ නැති නිසා.. මොළේ පෑදෙන කොට බොරුව යට යනවා...

      Delete
    5. `සජ්ජා ගේ අදහස් එක්ක යම් තාක් දුරට එකඟයි. අපිට කෙහෙල් විකුණන්නේ ලෙල්ලත් එක්ක.. කොච්චර හොඳ කෙහෙල් ගෙඩියක් උනත් ලෙල්ල දිහා බලල තමයි ගන්නේ. හැලපත් එහෙමයි.. කැන්ද කොලේ ඉරිලා ගැලවෙලා තිබ්බොත් හැලපේ 'දිවිය ලෝකෙ රහ' උනත් ගන්නේ නෑ. හැබැයි තේරුම් තියෙන එකා කෙහෙල් ගෙඩියයි හැලපෙයි රසට කාල ලෙල්ලයි කැන්ද කොලෙයි විසි කරනවා.. ලෙල්ලටවත් කැන්ද කොලේටවත් ගරහන්නෙත් නෑ අනේ අපරදේ කියල කන්නෙත් නෑ..

      Delete
    6. කළණ ++++++++++++++++++++++++++

      Delete
  5. සංවාදයක් ඇතිවෙන තරමේ ප්‍රබල ලියමනක් දිලා .

    ReplyDelete
  6. //උඹ පොඩි කාලේ පන්සල් ගියෙ නැත්තං, දැන් බොරු කියල කියන ජාතක කතා ඇහුවෙ කියෙව්වේ නැත්තං, බෝධිය වටේ රවුං ගැහුවෙ නැත්තං අද උඹ බොහොම තාර්කිකව අනිත් අයත් එක්ක කතා කරන බෞද්ධ දර්ශනය උඹ ඉගෙනගන්නවද? ඒ දර්ශනයෙ ඉගැන්වීම් වලට අනුව ජීවත් වෙන්න වත් ආගම උඹේ ඔලුවට කාවදිනවද? " කියල//
    මගේ දරුවන්ව මම හදන්නේ අදේවවාදීන් විධිහට. මම පන්සල් යන්නේ - භාවනා කරන හාමුදුරුවරු ඉන්න එකකට පමණයි. හැබැයි ළමයි පොඩි කාලේ මේ ජාතක කතා , බෞද්ධ කථා කියල දුන්න. නැත්නම් මේ කියනවා වගේ උන් ඒවා ගැන තර්ක කරන්න වත් ඉගෙන ගන්නේ නැති නිසා. මේ තර්කයට මම නම් එකඟයි. හැබැයි ළමයින්ව බලෙන් තල්ලු කලේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජී අයියේ ..දරුවන්ව නිසි මග යැවීම සහ ඔවුන් යොමු කිරීම දෙමාපියන් සතු කාර්යයක්. ජාතක කතා වස්තුන්ගේ ඇති හරය වත් කියාදෙන්න දැන් ඉන්න දෙමව්පියන් (හැමෝම නෙවි බහුතරයක් ) දන්නෙ නෑ. අසවල් රූපේ එල්ලුවම අරක ලැබෙනවා අසවල් දෙවි රුවක් තිබ්බම ඒකට වැඳුම් පිදුම් කලාම සිතු පැතූ සම්පත් ලැබෙනවා වගේ මෝඩ තර්ක වලට අද සමාජයේ බෝහෝමයක් දෙනා යටවෙලා . ඔය කොයි දේත් අවසානය හේතු ඵල න්‍යාය කියන එකයි සත්‍ය. කරුණාකර ලා බුද්ධ දර්ශනයට අපහස කිරීමක් විදියට බලන පාට කන්නාඩිය ගලවල බලන්න කියල මම මල්කොබා ගෙනුත් ඉල්ලීමක් කරනවා. හැමෝගෙම අදහස් හුඟක් වටිනවා.දරුවන්ට නිසි මාර්ගය කියල දෙන්න සහ මනසින් විමසල බලන්න අපි දැනුවත් විය යුතුයි .

      Delete
    2. අජිත් සහෝදරයා, මම විශ්වාස කරන විදියට දරුවන් යහමග යවන්න බෑ.. හරි මාර්ගය පෙන්නන්න පුළුවන්. මමත් දෙවිවරු වන්දනාව හෙළා දකින අයෙක්. මගේ ලියවිලි වලත් ඔය දේවල් වලට දරුණුවට පහර දෙනවා. නියම බෞද්ධ සංස්කෘතියේ දෙවි වරුන් ඇදහිල්ලක් හෝ ඔවුන්ගෙන් ඉල්ලන් කෑමක් නෑ. දිලාගේ තියරිය මම බොහොම තදින් ක්‍රියාත්මක කරන පුද්ගලයෙක්. ඒ කෙසේ උනත් සමහර දේවල් වලට ඉඩ දීල බලාගෙන ඉන්න වෙනවා ආගමේ නාමයෙන්(බෞද්ධ දර්ශනය වෙනුවෙන් කියල පටලගන්න එපා). මම කලිනුත් කිව්වා වගේ පහන් පූජා, බෝධි වන්දනා , ධාතු වන්දනා වලින් බුදු දහමේ හරය සහ දර්ශනයට අනුව අලුතින් දෙයක් එකතු වෙන්නෙ නෑ. හැබැයි ඒ දේවල් ඔක්කොම නැවත්තුවොත්, පන්සල් හදන එක නැවතුනොත්, පෙරහැර පවත්වන එක නතර උනොත් (පෙරහැර කතාවේ අලින් ගෙනියන එකටත් මම විරුද්ධයි) , හවසට බෝධි පූජා තියන එක නතර කලොත්, කොටින්ම කිව්වොත් ගෙදර බුදුන්ට පහන තියන එක නැවත්තුවොත් මොනවා වෙයිද? (ගෙදර බුදුන්ට පහන තියන්න ඕනෙත් නෑ හරියට ඔය විදියට හිතුවොත්) අජිත් අයිය කිව්වා වගේ භාවනා කරන හාමුදුරුවරු ඉන්න පන්සලට විතරක් මිනිස්සු ගිහිං අනිත් පන්සල් වලට එකෙක් වත් දානෙ දෙන ඒකත් නැවත්තුවොත් මොකද කියන්නෙ? මොනවා වෙයිද සාශනේට? ඒ විදියට ඒ සේරම නැවතුනොත් ආගමක් පවතියිද? අභිධර්මය කියවන්න කලින් බෞද්ධ දර්ශනය ඉගෙනගන්න කලින් පන්සිල් ඉගනගෙන ඉන්න ඕන. ආගමක් ඉගෙනගන්නෙ පියවරෙන් පියවර. ඔය විදියට කල්පනා කලොත් අවුරුදු 17,18 පැන්නට පස්සෙ කෙලින්ම ලමෙක්ට අභිධර්මය ඉගැන්නුවා. වැඩේ ගොඩ.. එහෙමද වෙන්න ඕන?
      දීලා, මම කියන්නෙ අහවල් රූපෙ එල්ලුවම අරක ලැබෙනවා, මේකට දුන්නම මේක ලැබෙනවා කියන දේවල් බැහැර කල යුතුයි. හැබැයි කාසි ගොඩක් උඩ තියල තියන අර ගෙඹි රූපෙට වඩා සීවලී හාමුදුරුවන්ගෙ රූපෙ එල්ලන එකේ අවුලක් නෑ. ධාතු වන්දනා කලාට කමක් නෑ ඒ පිලිබඳ සැදෑ සිතින් (හැබැයි අපේ ධාතුව ඔරිජිනල් කියල ඒක මාකට් නොකර) . කොටින්ම ප්‍රශ්නයක් අහන්නම් දීලා, දළදා මාළිගාවට යනවද?යනවා නම් ඇයි ඒ? ඒ විදියට තර්ක කලොත් තර්කයක් ගොඩනගන්න බැරිද "මේකෙ තියෙන්නෙ ෂුවර් ධාතුවද නැත්තං බොරු එකක්ද "කියල. මනසින් විමසල බැලුවොත් කියන්න බැරිද "බුදු හාමුදුරුවොත් සැමදාම පහත් කරලා දේශනා කරපු කුණු කයේ දතකට මොකට වඳිනවද " කියල. මිනිස්සු ඒ දේවල් කරන්නෙ ශ්‍රද්ධාවෙන්. ආගමක් පවතින්න ශ්‍රද්ධාව, ආගමික ප්‍රබෝධය වගේම ඒ ආගමේ අන්තර්ගතය කියන කාරණා සියල්ල බලපානවා. ආගමක් කියන්නෙ දර්ශණයක් විතරක් නෙවෙයි.
      හැම දෙකම අන්තයට නොයා මැදුම්පිළිවෙත අනුගමනය කරන්න කිව්වෙත් බුදු දහමින්. මෝඩ ශ්‍රද්ධාව , අන්ධ භක්තිය වෙත නොයා අන්තවාදී නොවී ආගම අදහනවා නම් එච්චරයි.

      Delete
    3. /. ඔය විදියට කල්පනා කලොත් අවුරුදු 17,18 පැන්නට පස්සෙ කෙලින්ම ලමෙක්ට අභිධර්මය ඉගැන්නුවා. වැඩේ ගොඩ.. එහෙමද වෙන්න ඕන?// එහෙම තමා. ඔයා අහල තියෙනවද කතාවක් බුද්ධාගම හැම වෙලේම තිබෙන්නේ නැහැ. ශාසනය විනාශ වෙනවා.. ඒ නිසා දැන් ඉඳන්ම පින් දහම් කරන්න කියල එක්ක. ඔයා අහල තියනවද - අනිච්චාවත සංඛාරා " කියල එකක. සියලු සංස්කාරයෝ අනිත්යහ. බුදු දහම විතරක් බේරෙයිද ? බේරෙනවනම් බේරෙන්නේ අපේ ළමයින් ගෙන්. එකට උන්ට බොරු දේවල් නැතිව හරි දේ කියල දෙන්න ඕනේ. මම අර භාවනා කරන අමරාවතී පන්සලට යන්නේ නම් මෙහෙ තිබෙන පන්සල් ගැන ඇතිවුන කල කිරීමක් නිසා. එකෙන් අදහස් වෙන්නේ නැහැ මම පන්සල් වර්ජනය කරලා කියල. හොඳ පන්සලක් නම් යනවා.
      //මම කලිනුත් කිව්වා වගේ පහන් පූජා, බෝධි වන්දනා , ධාතු වන්දනා වලින් බුදු දහමේ හරය සහ දර්ශනයට අනුව අලුතින් දෙයක් එකතු වෙන්නෙ නෑ. හැබැයි ඒ දේවල් ඔක්කොම නැවත්තුවොත්, පන්සල් හදන එක නැවතුනොත්, පෙරහැර පවත්වන එක නතර උනොත් (පෙරහැර කතාවේ අලින් ගෙනියන එකටත් මම විරුද්ධයි) , හවසට බෝධි පූජා තියන එක නතර කලොත්, කොටින්ම කිව්වොත් ගෙදර බුදුන්ට පහන තියන එක නැවත්තුවොත් මොනවා වෙයිද? // මේවා කරන කට්ටිය කරයිනේ. ඒවාට විරුද්ධ වෙන්නේ නැතුව හිටියම ඉවරයි. මැදහත් සිතින් ඉවසලා .මගේ බිරිඳ හෝ මම පහන් පත්තු කරන්නේ නැහැ හැමදාම. අපට සිතුන පහන් හැඟීමක් ඇතිවුන වෙලාවට හවසට ඒක කරනවා. නැත්නම් අම්මගේ තාත්තගේ උපන් දිනේට , ආච්චිගේ මියගිය දවසට ඒක කරනවා. ටිකක් භාවනාවේ ඉන්නවා. හැමදාම නීතියක් හැටියට කරන්නේ නැහැ. අපි මේ ආගමට කැමතිත් මගේ බිරිඳ පවා මේ ආගමට හැරිලා තියෙන්නෙත් ඒකෙ තියෙන නිදහස නිසා කියල මම හිතන්නේ.

      Delete
    4. with all due respect අජිත් අයියා . ඔබ කිව්වා හරි. ඒ දේවල් කරන අය ඒවා කරපුදෙන්. ඒ වගේම මම විශ්වාස කරන දෙයක් තමයි දරුවන්ට උනත් නිසි වයස ඇවිත් ඒ උදවිය තමන්ම තීරණය කරලා හොඳ දේ මොකක්ද අවශ්‍ය නැති දේවල් මොනවද කියල තීරණය කරන තුරු සම්ප්‍රදායට ඉඩ ඩිය යුතුයි කියන එක. අපේ තාත්තත් ඔබ දරන මතයේම හිටියේ. දේව වන්දනාව ප්‍රතික්ෂේප කළා. පන්සල් වලට ගියෙ තෝරාගත් එව්ව වලට විතරයි. ගෙදර මල් පහන් පූජා කලේ නෑ. හැබැයි බෞද්ධ දර්ශනයට අනුව හිතට එකඟව වැඩ කළා. හැබැයි මට නිදහසේ ඒ දේවල් කරන්න ඉඩ දුන්න. පසුකාලීනව මමත් ඒ ක්‍රමයයි අනුගමනය කරන්නෙ. ඔබ කිව්වා වගේ බෞද්ධ දර්ශනයෙ කියවෙනවා වගේ කිසි දෙයක් බලෙන් ඔබන්න ගියෙ නෑ. ප්‍රශ්න කරන නිදහස සහ "එව බලව" ආකාරයට නුවණින් විචාරා නිවැරදි දේ අනුගමනය කිරීමට අවශ්‍ය නිදහස ලබාදුන්නා. හැබැයි මගපෙන්වීමක් කළා මේ සම්බන්ධ කටයුතු වලදී. කල් යනකොට බෞද්ධ සාහිත්‍යයෙ එන ජාතක කතා වගේ දේවල් ප්‍රශ්නයට නැගුවේ මම මයි. හිත ඇතුලෙන්ම ඒ දේවල් ස්වයං විවේචනයකට ලක් උනා. මම නම් හිතන්නෙ ඒ දේවල් එහෙම වෙන්න හරින්න ඕන. මීට කලින් කමෙන්ටුවේ ඔබ කිව්වා වගේම (//හැබැයි ළමයි පොඩි කාලේ මේ ජාතක කතා , බෞද්ධ කථා කියල දුන්න. නැත්නම් මේ කියනවා වගේ උන් ඒවා ගැන තර්ක කරන්න වත් ඉගෙන ගන්නේ නැති නිසා//) ඒ දේම තමයි මමත් කියන්නෙ අජිත් අයියා.ඒත් ඔයා කිව්වෙ මේක (/. ඔය විදියට කල්පනා කලොත් අවුරුදු 17,18 පැන්නට පස්සෙ කෙලින්ම ලමෙක්ට අභිධර්මය ඉගැන්නුවා. වැඩේ ගොඩ.. එහෙමද වෙන්න ඕන?// එහෙම තමා) එතන පොඩි මිස් වීමක් වෙලා.
      ඔබ කිව්වා හරි. මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නැහැ.සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි. බුදුදහමට උනත් ඒ සෙතේම තමයි. ඒ නිසා ඉදිරි පරම්පරාවල් වලට හරි මග පෙන්වන එක අපේ යුතුකම.
      බුද්ධ දර්ශනය පවතින්න බුද්ධ සාශනය අවශ්‍යයි බුද්ධ සාශනය පවතින්න ශ්‍රද්ධාව අවශ්‍යයි , ශ්‍රද්ධාව ඇතිවෙන්නෙ බෞද්ධ ප්‍රබෝධය තුලින්, බෞද්ධ ප්‍රබෝධය ඇතිකරවන කාරණා වලින් එකක් විතරයි බෞද්ධ සාහිත්‍යය කියන්නෙ. ඒ සාහිත්‍යයේත් තියන සමහර දේවල් මැදහත් සිතින් බැහැර කල යුතුයි. බුද්ධ දර්ශනය මහා වෘක්ෂයක් නම් එයට පිටිබල දෙන අක් මුළක් වන් බෞද්ධ සාහිත්‍යය සහ බෞද්ධ පිළිවෙත් පිලිබඳ වාද විවාද කරමින් කල් මැරීම අනවශ්‍ය දෙයක්. ඊට වඩා අපට කතා කරන්නට මහා වෘක්ෂයක් තිබෙනවා.
      අයියා කිව්වා වගේ මේවා කරන කට්ටිය ඒවා කරාවි. කිසිවෙකුට හෝ කිසි යමකට ඒ දේවල් වලින් කිසිම හානියක් සිද්ධ වෙන්නෙ නැත්නම්. ඒ නිසා තමයි මම මේ සංවාදයේ මුලින්ම කිව්වෙ "මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම" කියල. එයින් අදහස් වෙන්නෙ නෑ දිලා මේ කවියෙන් ගැරහීමක් කළා කියල. හරවත් සංවාදයකට එළඹෙන්න ලැබීම සතුටුයි. මොන මොන වදන් බර වචන කිව්වත් අපි හැමෝම එකම මතයක ඉන්න බව දන්නවා. තමන්ගෙ මතවාද වලින් ගැටුම් ඇතිකරගැනීම සහ ඒ දේවල් පිළිබඳව යම් එකඟතාවයකට එළඹීම යන කාරණාව බුදුන් වදාළ ,වජ්ජීන් විසින් අනුගමනය කල සප්ත අපරිහානීය ධර්ම වලටද අයත් දෙයක්. ඒ සඳහා එකතුවූ අජිත් අයියා, දීලා ඇතුළු සැට් එකට තැන්කිවූ කිව්වා. ඒ සඳහා මණ්ඩපයක් තනා දුන් දිලාටත් පින්. අපි ඔක්කොම එකම කුලකයක මිනිස්සු.

      Delete
    5. // (/. ඔය විදියට කල්පනා කලොත් අවුරුදු 17,18 පැන්නට පස්සෙ කෙලින්ම ලමෙක්ට අභිධර්මය ඉගැන්නුවා. වැඩේ ගොඩ.. එහෙමද වෙන්න ඕන?// එහෙම තමා) එතන පොඩි මිස් වීමක් වෙලා.//
      නැහැ මෙතන මිස් වීමක් නැහැ. ආචාර්ය නලින්ද සිල්වාගෙන් ඇහුව නම් කියයි. මේ පාර ත්‍රිමාණ එකේ දාල තියන නලින්ගේ ලිපිය බලන්න. මට එකට එකඟ නොවෙන්න ඕන තැන තිබෙනවා. නමුත් සමතයක් වශයෙන් ගත්ත හැම බුදු දහම පන්සිල පද රකිමින්, පාන් පත්තු කරමින්, මල් පුදමින් ඉන්න අවශ්‍යම නැති එකක්. ඒවා කරන එක හොඳයි දානේ දෙන එක හොඳයි. ලංකාවේ අපි හැම වෙලේම 200කට විතර අවවුරුදු පතා දානයක් දෙනවා. නමුත් මෙහෙ මම නම් කරන්නේ homeless මිනිසුන්ට මොනවා හරි කන්න අරන් දෙන එක. නමුත් නිර්වාණය තේරුම් ගැනීමට ඒවා අවශ්‍ය නැහැ. අභිධර්මය, (පටිච්ච සමුප්පාදය ) ආදී දේ සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒවා ඉගෙන ගෙන පිලි පදින කොට එන තත්වය වෙනස් බුදු දහමේ විධිහට. නැත්නම් අංගුලිමාල ථෙර කෙනෙක් වෙලා නිවන් දකින්න විධිහක් නැහැනේ. මේ දෙක පැහැදිලිව තේරුම් ගත යුතුයි. මම එක තැනක ගැහැනුන්ට බුදු වෙන්න හොඳ නැති ඇයි කියල ඇහුවම කවුද කෙනෙක් දරුණු විධිහට බැන්නා. නමුත් එතනදී -මතු බුදු වන අම්මා වරු ගැන ගීත ගයන්නෙත් අපිමයි " කියන එක අමතක වෙලා. එහෙම නම් එහෙම සින්දු කියන නන්දා මාලිනි ටත් බනින්න ඕනේ. අපි සංවාද කලොත් තමා අපට දැන ගන්න පුළුවන් ඇත්ත.
      මෙතන දිලා කියන කරණය ඇත්තනේ. සීවලී හාමුදුරුවන්ගේ පින්තුරය තියන් හිටියට පියා තමා ආහාර සපයන්නේ. මව තමා පිළියෙළ කරන්නේ. සුන්දර ඇත්තක්. නමුත් තව කවුරු හ‍රි කියනන් පුළුවන් පියාට එහෙම කරනන් පුළුවන වෙලා තියෙන්නේ ඒ පින්තුරය තිබෙන නිසාය කියල.

      Delete
  7. "සීවලී රුව තිබෙන ගෙයි නම්
    බතින් කිසිවිට නොවේ අඩුවක් "
    මේක කොහෙදිද දැක්කෙ නංගි...???
    කවුරුහරි කිව්වද එහෙම ..??
    පොඩ්ඩක් මූලාස්‍ර කියන්ඩ පුලුවංද ..??
    අයියෝ සල්ලි ....

    ReplyDelete
  8. මම මෙතෙක් පල වෙලා තිබ්බ ඔක්කොම කමෙන්ට්ස් ටික කියෙව්වා. ඒවගෙන් මම සජ්ජා කියල තියෙන දේවල් සමග 100%ක් එකඟයි. මම කියන්නෙත් ඒවා විශ්වාස කරන අය එහෙම කරපු දෙන්. අපිට බෞද්ධයන් විදිහට තියෙන ආගමික නිදහසත් එක්ක මේවා විවිධ ආකාර වලට දකින්න, මත ඉදිරිපත් කරන්න, තර්ක කරන්න පුළුවන්.

    දිලා කවියෙන් කියල තියෙන දේ ඇත්තක් තියෙනව. නමුත් අපේ පොඩි ළමයින්ට මූලික දේවල් කියල දෙන්න ඕනෙ අර සජ්ජා කීව විදිහට. ඊට පසුව ඔවුන් ලොකුමහත් වෙද්දී දිලාල, සජ්ජල අපි වගේ ඒ අයත් තර්ක කරල හරිවරැද්ද තෝරා බේරා ගනීවි. නමුත් ඒ තැනට එනකං අපි අපේ බාල පරම්පරාවට සියළුම දේවල් කියලා දීල රැගෙන එන්න ඕනෙ. එහෙම නැතුව පොඩි කාලෙ ඉඳන්ම අපි දැන් හිතන විදිහටම ඒ අයටත් හිතෙන්න වැඩ කරොත්, ඒ පරම්පරාවෙන් පසුව ඉපදෙන අය තව මොන මොනවා බැහැර කරයිද. එතකොට බුදුහාමුදුරුවො කියල තියෙන අවුරුදු 5000ක සාශනයේ ඉන්න බෞද්ධයෝ අවුරුදු 3000කින් වගේ නැති වෙන්නත් පුළුවන්.

    දිලාගෙ කවියෙන් කියන තර්කයට මාත් එකඟයි. නමුත් විවිධ පුද්ගලයන් විවිධ විදිහට මේක ගැන දකින්නෙ. හරියට අපේ රටේ පක්ෂ දේශපාලනේ වගේ.
    මොනව උනත් සංවාදයකට හේතුවන හොඳ නිර්මාණයක්.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීමට ස්තුතියි මනා :)

      Delete
  9. මම පෞද්ගලිකව මේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ. ඒත් ‘අපි‘ කියන තැනදි එහෙම පුලුවන්ද? අපි විතරද ඉන්නෙ? අනෙක් අයගෙ මත අපිට ඉවසන්න වෙනවා නේද? එතනදි අනෙක් අය අදහන දේ කිසිම විශ්වාසයක් නැතත් අපිටත් අදහන්න වෙලා. බුදුන් වඳින්න, පන්සිල් ගන්න, සීවලී පින්තූරෙ එල්ලගන්න, පිරිත් නූල් බැඳගන්න, වැඳගෙන ඉන්න... ඔය සේරම කරන්න වෙලා. ඒත් ඇයි අපිට මෙහෙම හරි කතාකරන්න පුලුවන්කම තියෙන්නෙ? අපි හරීයට අපේ ආගම විවේචනය කරනවා නිතරම. ඒකෙ තියෙන අඩුපාඩු දකිනවා. ඒවා ගැන කෙස් පැලෙන්න කතා කරනවා. ඒත් අපි අපේ ආගම/දර්ශනය අන්තයටම හදාරලාද මේ දේවල් කරන්නෙ?
    අනෙක් ආගම් මීටත් වඩා ඇදහීම් සහ විශ්වාසයන් මත පදනම් වෙලා තියෙනවා නේද? ඒත් අපි තරම් සුලබව ඒ ආගම් අදහන්නන් තමන්ගෙ ආගම විවේචනය කරනවාද? මේක බුද්ධාගම තුල ඇති නිදහස නේද? විවේචනය කරන්න, හරි යැයි තමන්ට වැටහේනම් පමණක් අදහන්න/පිළිපදින්න අපට නිදහස තියෙනවා නේද? අනෙක්වයේ තත්ත්වය මේ තරම් හොඳ නෑ නේද?
    ඒ නිසා මමත් සජ්ජා සමග එකඟයි! බෞද්ධයෙකු වශයෙන් ඉපදුනු කෙනෙකුට යම් වගකීමක් තිබෙනවා එය ආරක්ෂා කරන්න. හේතුව, මේ තරම් නිදහස් ආගමක් ලොවෙත් නැති නිසා. මේ ආගමත් (දර්ශනය කිව්වොත් වඩා නිවැරදියි) තුරන්වෙලා ගිය දවසක අපි කවදාහරි වෙනත් ආගමක නීති වලින් බැඳෙන්නේ නැද්ද?
    දිලිනි මතුකරන කාරණය තර්කානුකූලව හරි. හැබැයි, මේ සියලු පින්තූර, පිළිම අපේ සංස්කෘතියෙන් තුරන්වෙලාම ගිහාම එළඹෙන ලෝකය මොන වගේ වේවිද?

    ReplyDelete
    Replies
    1. බුද්ධාගම යනු ආගමක්ද දර්ශනයක්ද?වල්පොල රාහුල හාමුදුරුවන්ගේ "බුදුන් වදාල ධර්මය" පොත පටන්ගන්නේ ඔය ප්‍රශ්නෙන්.ඒකට උත්තරය විදිහට දීලා තියෙන්නේ ආචාර්යය මර්සලීන් ජයකොඩි පියතුමාගේ කවියක්.
      "නමෙහි ඇත්තේ කිම-අප රෝසයයි කියන මල
      සෙසු කවර නමකින් ගත-මිහිරි සුවඳම පතුරවයි"
      බුද්ධාගම කියන්නේ මොකක් වුනත් අපිට වගකීමක් තියනවා ඒක රැකගන්න.ඒ අපේ උප්පැන්නේ ආගම කියන තැන බුද්ධාගම කියල ලියල තියන නිසාමනම් නෙමෙයි.උඹ කිවුවා වගේම ඒ මේ ආගම තුල තියන නිදහස නිසාමයි.ඒත් ඒක එහෙමයි කියලා සිවුර පොරවන් ඉන්න හොර චීවරධාරීන්,නිසැක ධාතු පෙන්වන ජඩ මාධ්‍ය,වගේ ඒවාට කතානොකර සිටීමත් මේ ආගමට කරන අපරාධයක්.මේක අපේ ආගම කියලා ආගමේ නාමයෙන් කරන හැම ජඩ වැඩකටම කටවහන් ඉන්න ඕනේ නෑ.ඒත් ප්‍රශ්නේ තියෙන්නේ අපේ ආගම වුනත් අපි දන්නේ ඒකෙන් අංශු මාත්‍රයක් විතරක් වීමයි.ඇත්තටම මේවාට විරුද්ධව හඬක් නගන්න ඕනේ මේ ආගම ගැන කෙළදත් විද්වතුන්,ස්වාමීන් වහන්සේලා වගේ අයයි.ඒ අයගේ නිහඬකම නිසා තමයි වදුරට දැලි පිහිය අහුවුනා වගේ වෙලා තියෙන්නේ.අපි මිනිස්සු.මිනිස්සු අතින් වැරදි වෙනවා තමයි.ඒවාට සමාව දෙන්නත් ඕනේ.ඒත් දැන දැනම කරන වැරදි වලට සිවුර ,ආගම යොදාගන්නවනම් ඒකට විරුද්ධ වෙන්නත් ඕනේ.
      ඔය ඇදහීම වගේ දේකටනම් කවුරුමොනවා කලත් මම නම් විරුද්ධ වෙන්නේ නෑ;ඒ ඇදහීම තුලින් අනිත් අයට බාධාවක් නොවනතාක්කල්.මනුස්සයෙක් පන්සල් ගියා කියලා,කෝවිල් ගියා කියලා ,කතරගම ගියා කියලා ඒ මනුස්සයාගෙන් සමාජෙට වෙන අමුතු අයහපතක්වත් යහපතක්වත් නෑ.මේ මමත් අවුරුද්දකට 3-4පාරක් කතරගම යනවා.ඒත් ඒ දෙවියන් ගැන තියන භක්තියකට නෙමෙයි.ගෙදර ලොක්කෝ යන නිසා.උපන්දා ඉදන් උගන්වලා,කන්න බොන්න දීලා රැකගත්තු ඒ මිනිස්සු ඒක ගැන විශ්වාස කරනවා.ඒත් ඒ මිනිස්සුන්ගේ පිහිටෙන් මම ලබාගත්තු අධ්‍යාපනයට පිං සිද්ධ වෙන්න මම ඒවා පිළිගන්නේ නෑ.ඒත් මම ඔය පණ්ඩිතකම් මේ ගෙදර අය ඉස්සරහ කියවලා පොරටෝක් දැම්මොත් වෙන්නේ ඒ මිනිස්සුන්ගේ හිත්වල කහටක් ඇතිවන එක විතරයි.ඒ නිසා මගේ විශ්වාසේ මගේ හිතේ ,උඹේ විශ්වාසේ උඹේ හිතේ කියලා ඒවා ඉවසා වදාරන්න අපිටත් සිද්දවෙනවා.ඒ නිසා කවුරුන් හෝ ගන්නා තීරණ තවත් කෙනෙක්ගේ ජීවිතයට බලනොපාන තාක්කල් ඒවාට විරුද්ධවීම වැඩක් නැති දෙයක් කියලයි මමනම් හිතන්නේ.

      දිලා...නංගී...මේ වගේ කවිපංතියක් තුලින් මේ වගේ සංවාධයකට ඉඩ හදලා දුන්න එකට ගොඩක් පිං ඔබ තුමියට.කවි ටිකත් ලස්සනයි....කමෙන්ට් ටිකත් ලස්සනයි....මේ වගේ ඒවා දාලා මේ වගේ දිග කමෙන්ට් කොටන්න ගියහම අත රිදෙන එක තමා ඉවසන්න බැරි.....ජය වේවා....

      Delete
    2. මධු මාධවී මෙතන පොඩි ප්‍රශ්නයක් තියනවා ඔයා කියන දේ ගැන ?
      // අපි හරීයට අපේ ආගම විවේචනය කරනවා නිතරම. ඒකෙ තියෙන අඩුපාඩු දකිනවා. ඒවා ගැන කෙස් පැලෙන්න කතා කරනවා. ඒත් අපි අපේ ආගම/දර්ශනය අන්තයටම හදාරලාද මේ දේවල් කරන්නෙ?//
      කාලාම සුත්‍රය - බුදු දහමේ කාලාම සුත්‍රයේ අපට එහෙම කරන්න උගන්වලා තිබෙනවා. අනික් ආගම් ඕන තරම් විවේචනය වෙනවා. නමුත් මුස්ලිම් ආගමේ කට්ටිය සැහෙන්න විරුද්ධයි ඒගොල්ලන්ගේ ආගම විවේචනය කරනවට. ආසියාවේ, අප්‍රිකාවේ බොහෝ රටවල අනිත් ආගම් (බුද්ධාගම, කතෝලික ආගම, ක්‍රිස්තියානි ) අදහන අය මරා ගන්න එනවා. ඒක නැතුව සංවාදයේ යෙදෙන අය මේ වගේ අඩුයි. මේ ගොල්ලෝ:
      http://www.meetup.com/London-Atheist-Activist-Group-friendly-community/, සහ https://humanism.org.uk/ceremonies/?gclid=CJL6lfmVv8UCFW3LtAodykIA2g,
      http://atheists.org/ අනිත් ආගම් සෑහෙන්න විවේචනය කරනවා. මේ අය හුඟක් වෙලාවට හයිඩ් පාක් එකේ මුස්ලිම් හා ක්‍රිස්තියානි අය සමග වාද කරගන්නවා දැක ගන්න පුළුවන්. එංගලන්තේ ක්‍රිස්තියානි ආගම පිළිපදින අය සීග්‍රයෙන් අඩුවී ගෙන යනවා. එහෙමනම් කියන්න පුළුවන් ඒකත් නැති වෙනවා. කියල.
      මම හිතන්නේ නම් අපි සංවාද කල යුතුයි. මේවා ලිවිය යුතුයි. එතකොට තම සත්‍ය එලියට එන්නේ.

      Delete
  10. හුග දෙනෙක් භක්තිය හන්දා අන්ද වෙලා ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක නෙවන්නම් දිනේෂ් අයියේ ..:)

      Delete
  11. දැන් නම් ගෙවල්වල සීවලී රූපේ රීප්ලේස් වෙලා ,අර බඩතඩි ලාෆින් බුද්ධා කියන ෆෙන්ෂුයි ගොන්පාට් එකෙන්

    ReplyDelete
    Replies
    1. හිනායන වැඩේ කියන්නේ සිතූ පැතූ සම්පත් පහළ වෙනවා කියන ඒකනේ ..

      Delete
  12. දිලා............................

    සිතුවිල්ල මාරයි..... හරි ම අගෙයි..... අපි විසින් අාගම.. විශ්වාසයන් සහ ප්‍රතිපත්තීන් විදිහට හදාගෙන අැති බොහෝ දේ තුළින් අපි අම්මාට තාත්තාට සහ අපි වෙනුවෙන් ජීවත් වන බොහෝ දෙනෙකුට කොච්චර නම් අපහාසයක් කරනවාද????? මේ අනවශ්‍ය කණ්ණාඩි අයින් කරලා මිනිස්සු නිරුවත් දෑසින් ලෝකය බලපු දවසට පෙනෙයි මේ ලෝකය කොයිතරම් වෙනස් ද කියලා......

    ReplyDelete
    Replies
    1. ඒ දවස වැඩි ඈතක නොවේවායි කියල පතමු පවුරේ...

      Delete