Monday, July 21, 2014

අoජු....

අoජු... 
    අදත් මං පාරදි බැකෝ එකක් දැක්කා.ඔයා මතකෙට අවේ නිතැතින්. අනේ ඉතිං ඒත් ඔයා කොහේ ඉන්නවද? මොනවා කරනවද? ඔයා හොඳින්ද ?මේ කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් මා ගාව නැති හැටි....
                                  මොනව උනත් අපේ අතීතෙ හරිම සුන්දරයි අංජු. ඔයා හුඟක් දැනුම් තේරුම් තිබුන කෙනෙක් උනාට ඒ කාලේ මම නං පුංචි බටු කෙල්ලෙක්. එකනේ ඔයා මට කට පුරා "බට්ටි" කියල කතා කලේ...
              අත්තම්මගේ තුරුලෙ හුරතලේටම හැදුන මට පුදුම සංයමේකින්, හිත නොරිදෙන්න දෙයක් තේරුම් කරන්න පුදුම හැකියාවක් ඔයාට තිබුන. අදටත් ජීවිතේට ඔයා කියලදීපු දේවල් මං පිළිපදිනව.

එත්.... 

      ජිවිතේට හමාගෙන ආපු හීන් හුළඟක් වගේ ආයෙමත් ඔයා හමාගෙනම ඈත් වෙලා ගියා. එදා ඔයා ගිය දවසේ ඉඳන් සතියක් යනතුරුත් මං සාංකාවට උණ ගැනිල බලාගත්තු අත බලාගෙන ඉන්නව කියල ඔයාට අපේ මාම  කිව්වම, සේරම වැඩ පැත්තකට දාල මාව බලන්න දුවන් එන්න තරම් ඔයා හුඟක් කාරුණික උනා. ඔයා ගාව මනුස්සකම කියන දේ අඩුවක් නැතුව තිබුන.
          මට මතකයි ඒ කාලේ ඔයා අපේ ගමේ තියෙන පස් කන්ඩි කපනකොට ඔයාගෙ බැකෝ එක දිහා මං පුදුම අසාවෙන් බලන් හිටිය. මං විතරක් නෙමෙයි, ගමේ පුංචි දරුවො ඔක්කොමල ඉස්කෝලෙ ගිහිං ඇවිත් බත් පත දිහාවත් නොබල දුවන් අවේ ඔයාගෙ වැඩබිමට. ඔයා ඒ හැමෝටම ආදරෙන් සැලකුව. ඒ උනාට බට්ටි නම් හිටියෙ ඔයාව අයිති කරගෙන. 

        ඒ දවස් වල "අංජු ත් මගේ... අංජු ගෙ බැකෝ ඒකත් මගේ..." කිය කියා අණසක පතුරවනකොට මං දිහා ඔයා ඇස් දෙක හීනි කරල බලල හිනාවෙලා ඔළුව අතගාල කියනව
"හොඳ දරුවෙක් වෙලා හොඳට ඉගෙනගන්න ඕන, හැමදාමත් ලස්සනම ලස්සන බට්ටියෙක් වගේ හොඳට හැදෙන්න ඕන" කියල.

     ඒ දවස් වල ඔයා හැමදාම මට පළතුරු ගෙනත් දෙනව කන්න කියල. වැඩබිමට එන්න එපා කියල අපේ මාම සත්තම දාද්දි මං බිම පෙරලිලා අඬනකොට අත්තම්ම කිව්වෙ 
"එක එක ජාතියේ පිරිමි ඉන්න තැන් වල කෙල්ලෝ එහෙම තියන්ඩ බෑ මයෙ රත්තරනෙ" කියල. 
        ඉතිං ඒ කාලෙ කිසිම බරපතලක් නොතේරුන මං කලේ හති වැටෙනකල් අඬපු එක .ඉතිං අත්තම්මට සිද්ද උනා මාවත් එක්කං වැඩබිමට එන්න.
                                                                  එදා දැනුන සතුටට ඔයා බැකෝ එකේ වැඩ කරන කිට්ටුවටම මං දුවගෙන ගියා. ඔයා පුදුම වෙලා ඉක්මනින් බැකෝ එක නතර නොකල නම් බට්ටිට දරුණු අනතුරක් වෙන්නත් තිබුන. එදා අපේ මාමා මට දෙන්න සැදී පැහැදී ඉඳපු ගුටි පුජාවෙන් මාව බේරුනේ ඔයා දුවල ඇවිත් මාව වඩාගෙන පැත්තකට ගිය නිසා.. එත් ඒ වෙලාවේ ඔයාගේ අත් දෙක හොඳටම ගැහුන කියල නම් මට හොඳට මතකයි. 

    එදා ඉඳන් ඔයා මාව බැකෝ එක ඇතුලෙන් තියං වැඩ කරන්න පටන් ගත්ත. අපහසු උනත් ඔයා මුකුත් කිව්වෙ නෑ. ඒ වෙද්දී හවස කිරි එක හදාගෙන ලේන්සුවකින් ඔතාගෙන වැඩබිමට අරං එන තත්වෙට අත්තම්මට හැඩගැහෙන්න සිද්ද වෙලා තිබුන. ගිනි කාෂ්ටක අව්වේ ඔයා වැඩ කරද්දි ඔයා ලඟට වෙලා බලං ඉද්දි දන්නෙම නැතුව මට නින්දත් යනව. ඒ වෙලාවට ඔයා වැඩ ටිකකට නතර කරල බොහොම ආදරෙන් මාව ගෙදර ඇරලනව.
                                                   
     ඉතිං ඔහොම ගලාගෙන ගියපු සුන්දර දවස් වලට තිත තියපු නපුරු දවසක් ආව.ඔයාලගෙ ගිවිසුම් කාලය ඉවර වෙලා තිබුන. එදා බට්ටි ට ඉස්කෝලෙ නිවාඩු දවසක් ඔයාල යද්දී අපේ ගම හුගක් ලස්සන වෙලා දියුණු වෙලා තිබුන. ඔයා ගමේ හුගක් ගෙවල් වලට ගිහිං කථා බහ කලා. ඒ හැම තැනම ඔයාගේ අතේ එල්ලිලා බට්ටිත් ගියා. ඔයා මුලින්ම ආව වගේම යද්දි අන්තිමට බට්ටිගේ ගෙදරට ආව. ඔයා අපෙන් වෙන් වෙලා යද්දී 
"අනේ අංජු යන්න එපා............!" කියල මං ඔයාගෙ අතේ එල්ලුනේ මුණ පුරාවට උණු කඳුළු ඉහිරෙද්දි. ඒ වෙලාවෙ ඔයාගෙ ඇස් දෙකත් රතුවෙලා තිබුන.


         එදත් ඔයා මගේ ඔළුව අතගාල "මතකනේ... හොඳම හොඳ ලස්සන බට්ටියෙක් වෙන්න ඕනෙ. ලස්සනට ආඩම්බරෙන් ඉන්න ඕනෙ. අඳුනන්නේ නැති පිරිමි අය ළඟට යන්න එපා. බුදුසරණයි බට්ටි!" කියල කිව්ව.


        එහෙම කියල අපේ අත්තම්මටත් වැඳලා බැකෝ එකේ නැගල යන්න ගියා.බට්ටි කෑ ගහල ඇඬුවා. අත්තම්මත්  ඇඬුවා. ආයෙ අසනීපවෙලා ඉද්දි ඔයා මාව බලන්න ඇවිත් යනකොට කිව්වෙ 
       "පුළුවන් උනොත් ආයෙ ඉක්මනටම එන්නම් බට්ටියො පරිස්සමින් ඉන්නකො" කියල. 
             
             ඒත් ඔයා ආවෙ නෑ...

          "නුවර ඉඳන් ගාල්ලෙ එන එක ඒ තරම් ලේසි දෙයක් නෙවෙයිනෙ" කියල අත්තම්ම කිව්වා.. සමහරවිට ඔයාට එන්න පුළුවන්කම තිබුණත් ඔයා හිතාමතාම ඒක මගහරින්න ඇති. මං ආයෙම අසනීප වෙයි කියන බයට.
            
              දින, සති, මාස, අවරුදු ගණන් ගෙවිලා ගියා. අදටත් මම මාමගෙන් ඔයා ගැන විස්තර ඇහුවොත් එයා දෙන උත්තරේ 
 "දන්නෙ නැහැ දරුවො".
  ඒ වුනත් එදා ඉඳල මං ආසම වාහනේ උනේ බැකෝ එක (මං කෙල්ලෙක් උනත්) අදටත් කොහේ හරි බැකෝ එකක් දැක්කොත් මං ඒ දිහා බලාගෙන ඉන්නව.
           දැන් බට්ටිත් ඔයා දැක්කට වඩා වෙනස් වෙලා. එත් ඔයා දැකපු පුංචි බටු කෙල්ල අදටත් මගේ ආත්මය ඇතුලේ ඉන්නව. මං "දිළිසෙන ඇස්" එක්කල කිව්ව

 "ඔයා කවදාහරි ලොකු උනාම කාර් එකක් ගන්න එපා, බැකෝ එකක් ගන්න" කියල.

 එයා එයාගෙ ඇස්  දෙක නළලට අරං "හපොයි "කිව්ව.

"ඇයි ඒ ?" කියල ඇහුවම මං මේ කතාව එයාට කිව්ව.
                                                             
         "දිළිසෙන ඇස් " නිතරම කියන්නෙ මේක පුංචි රටක් නිසා අපිට අංජු ව මුණගැහේවි කියල. එත් දැන් දශයකටත් එහා ගිහිං මයෙ හිතේ.. කමක් නෑ අංජු ඔයා ගැන හරි උතුම් විදියට, ඒ ලස්සන දවස් ගැන හරිම ලස්සන චිත්‍රයක් විදියට මගේ හිතේ ගැඹුරෙම තැන්පත් වෙලා තියෙනව.ඉතිං ඒ මතකය ඇතුලෙ අදටත් මට කියවෙන්නෙ...

 "අංජු ත් මගේ අංජු ගෙ බැකෝ එකත් මගේ......"


නිමන්තිකා ..

22 comments:

  1. සංවේදීව දැනුනා දීලා..
    ඇත්තටම ඔයාට ආයෙත් අන්ජුව මුණ ගැහුනොත් (එහෙම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..) ඔයා මොනවා කරයිද.?

    ReplyDelete
    Replies
    1. මට කතා කරගන්න බැරී වෙයි අමිල.මහ පුදුමාකාර සතුටක් දැනේවි ... අනිවාර්යෙන්ම ඒ කකුල් දෙක අල්ලලා වඳීවි.ස්තූතියි අමිල

      Delete
  2. මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ..

    ReplyDelete
  3. හෆොයි...
    අතීත මතක අපේ හිත් වල නිධන් වෙලා .තියෙන්නෙ මහ පුදුමාකාර විදියට..
    වෙලාවකට රිදිදලා අඩෝනව..
    වෙලාවකට හිනස්සෝනව...
    අංජු ව ඉක්මණට හම්බවෙන්න කියල පාර්තනා කොරනව..

    ලිවිල්ල නං රහයි

    ReplyDelete
  4. කියන්න වචන හොයා ගන්න අමාරුයි දිලා.

    හදවතටම දැනුනු සංවේදී ලියමනක්.

    අද සමාජෙ අංජුලා අඩුයි.…

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි ප්‍රියා අංජු මට සුවිශේෂ වෙන්නෙත්.. ස්තූතියි...

      Delete
  5. ඒක හරි ආදරණිය කතාවක් ! ඇත්තටම හරිම සුන්දරයි. අංජුව දවසක ඉක්මනටම හම්බවෙයි කියලා හිතේනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිහින එහෙම උනොත් හොඳයි :)

      Delete
  6. අපුරු වියමනක්.
    ලස්සන මතකයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි

      Delete
  7. වෙනස් විදියකට ලියාපු කතාවක්.... බොහොම ලස්සනයි

    ReplyDelete
  8. මොනවා කියන්නද කියලා මං කල්පනා කලේ ...හොදටම හදවතට දැනුනා ..
    අංජු හබ්බවෙයි කියලා හිතෙනවා ජය

    ReplyDelete
  9. එහෙමද සහෝ... ස්තූතියි හොඳේ..

    ReplyDelete
  10. නිර්මාණය හරිම සංවේදියි.................. වචන කියාගන්න බෑ... ලියන්න ඕන දෙයක් හිතාගන්නත් බෑ... එක දෙයක් විතරක් කියන්නම්... ඔබට පුළුවන් අකුරු වලින් අනික් අයව අඩවන්න... එච්චරයි.......................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිනියා...දිලාගේ ලෝකයට ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා..

      Delete
  11. නියම කතාව..... ලස්සනයි...... අලුත් අර්ථකතනයක්...... මේ කතාවේ තියනවා..... මේක සැබෑ... අත්දැකීමක්ද....?

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම සැබෑ අත්දැකීමක් නිහිංසා ...ස්තූතියි ඔයාටත්

      Delete
  12. මේ පුංචි රටේ ඔයාට අංජුව යළි මුණගැසේවි..එවිට අංජු ඔයාට අල්ලගන්න බැරි තරම් දුර ගිහින් තියේවි...ඔයාටත් එයාට ළංවෙන්න බැරි තැනක හිඳීවි...

    ReplyDelete
    Replies
    1. යථාර්ථය ඒකම තමයි රුක්මාලි.ඒත් මේ ජිවිත කාලෙදි තව එකම එක වතාවක් හරි මට ඒ අවස්ථාව උදා වෙනව නම් මම හුඟක් සතුටු වෙනව.
      බොහොම ආදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට.

      Delete