දිවියම එපා වී මට කලකිරුණු රැයේ
උලමා ඉකිබිඳුම කුටියට හොඳට ඇහේ
මා සැක කරනවලු දෙවිඳුන් හද දෙවොලේ
ඇසුවෙමි කටුක වදනින් හද රුහිරු පෙරේ
ඔබ මා පුවත් තතු හඳුනයි හැමට වඩා
එපමණි මෙමා දන්නේ අසරණය මෙමා
දෙනෙතින් වැගිරෙනා උණු ලේ කඳුළු මෙදා
තතු හෙළිකරයි රැක ගත් ආලය රුහිරු පුරා
නොකලෙමි කිසිදු වරදක් ඔබ තලනු නියා
අදහනු බැරිය පෙම්බර සිත ඔබද කියා
මුවගින් තෙපලු රළු පාරෝස් වදන් නිසා
වෑහෙයි කඳුළු දෙනයන බැමි ඉවුරු කඩා
සුනුවිසුණුය මා කැදැලෙහි සතුට මෙදා
වැළපෙයි කිරිල්ලී දුක වාවනු නොහෙනු නිසා
කෙලෙසද කුරිරු මෙතරම් මගෙ හිමි සමිඳා
පැණයකි පැලුණු හද පතුලේ තිබුනි අරා
ඉගිලී පියඹ ආවත් පෙර සෙනෙහෙ පුදා
ඇය සීතලය නිහඬය නිසසලය මෙදා
තුඩඟට තබා තුඩගින් කිතිකැවුව මුදා
ඇය සැතපෙයි නැත හැලහොල්මනක් මෙදා
ගලා ගියා නෙතගින් වැහි කඳුළු ලෙසා
අයැදියි සමාවක් නිසසල දේහයම අරා
අසනු මැනවි පෙම්බර හිමි සඳුනි මෙදා
පමා වුවද ඔබ නිවැරදි පෙමයි සදා
නිමන්තිකා
No comments:
Post a Comment